Thursday, 30 April 2015

නෙළුම් යායෙන් පීදුනු බ්ලොග් සංසදය හෙවත් රාජ පුරෝහිතයන්ගේ බ්ලොග් දන්සැල

කලමණාකරණයේදී අප ඉගෙන ගත් මූලීක පාඩම නම් 1+1 = 2 නොව 1+1>2 කියාය. එහි මූලික අදහස මිනිසුන් දෙදෙනෙකු එකතු වූ කල, දෙදෙනාගේ ශක්තිය වෙන් වෙන්ව ඔවුන් දෙදෙනාට කල හැකි  කාර්‍යට වඩා විශාල බවය. ඒ අර්ථයෙන් ගත් කල සංවිධානාත්මක වීම විද්‍යාත්මකව ප්‍රශ්නයක් නැත.

එහෙත් සංවිධානත්මක වීමත් සමගම උරුම වන තවත් ප්‍රශ්ණ බොහෝ ගණනාවක් ඇත.කලමණාකරණ විද්‍යාවේ ඉගැන්වෙන එවන් කරුනු පසෙක තබා ලිපියේ ප්‍රස්තූතය වූ බ්ලොග් ලිවිල්ල ගැන කථා කිරීම මනාය.

බ්ලොග් ලිවීම යනු පුරවැසි මාධ්‍යකරනයකි.බ්ලොග් ලිවිල්ලට කිනම් අර්ථකථන ලබා දුන්නද එය ජනතාව විසින් ජනතාව උදෙසාම වාරණයකින් තොරව නැතිනම් අඩුම වාරනයකින් යුතුව කෙරෙන සංනිවේදනයකි.
මෙවන් ස්වරූපයකින් යුතු මාධ්‍යකරණයක් නිසා ඇනෙන දැනෙන අංශ කීපයකි.



කෛරාටික හොරුන් දෙදෙනෙකුගේ බහට ‍රැවටී සීතාම්බර සළුව දවටා හෙළුවෙන් නුවර සක්මනෙහි යෙදුනු රජතුමා,  හෙළුවෙන් යන බව මුලින්ම කීවේ පාර අයිනේ කඩල ගොට්ටක් විකමින් සිටි නිකංම නිකං කොළු පැංචෙකි. ඒ අතීත කථාවක්ය. අතීතය සේම වර්ථමානයේදී බ්ලෝග් ලිවිල්ල නැමැති මාධ්‍යකරනයද ඒ කඩල ගෝට්ට සපමින් සිටි නිකංම නිකං කෝළු පැංචාය.ඒ කොලු පැංචාට මහ ලොකු සදාචාරයක් හෝ මහ ලොකු වගකීමක් කරට අරං වග කිව යුත්තක් නැත.  ඒහෙත් රජතුමාගේ පුරෝහිත මණ්ඩලයේ සිටි මහා ලොකු වියතුන්නට , පඬිවරුනට කිව  නොහැකි වූ සත්‍ය,  අමු අමුවේ එලියට දැම්මේ ඒ නිකංම නිකං  කොලු පැංචාය. තාන්න මාන්න අහිමි වේ යැයි හෝ රාජ උදහසට ලක් වේයැයි බියක් පඬිවරුනට තිබ්බාට කොලු පැංචාට ඒවන් හැඟීමක් නැත.ඒ නිසාම කිවයූත්ත කිවීමට සතර වරං බැලිල්ලක්ද කොළු ගැටයාට නැත.

කොළු ගැටවුන්ගේ නොසන්ඩාල කථා නිසා සිහින මාලිගා බිදගත් රජ පරපුරේ ඇත්තනට නම් කෝළු ගැටවු යනු අම්බාන් කල යුතුම රස්තියාදූකාරයන් රොත්තකි. මහ ලොකු මාධ්‍ය පකීර්ලාට හෙවත් නූතන රාජ පුරෝහිතයන්ට අනුව නම් බ්ලෝග් ලිවිල්ල මෝය කටින් ගිය පොල් ලෙල්ලක් තරම් නොවන්නකි.

කෙසේ වෙතත් මෙවන් රස්තියාදුකාරයන් හැසිරවීමට ද ක්‍රම කීපයකි. ඒවාද කලමණකාරන තියරිය.

අතීතයේදී වරෙක අප පාසලේ සිටි රගර් කන්ඩායම අම්බ මෑරෑටි  රෑලකි. ශිෂ්‍යනායකයන් තියා ගුරුවරුන්වත් මායිම් නොකල ඔවුන්ගේ තක්කඩි කම් පාසලට ගෙන ආවේ අපකීර්තියකි ( විදුහල් පති උතුමාට සාපේක්ශවය). කෙසේ නමුත් ඊලඟ වාරයේදී සිදු වුයේ අමුතුම සිදූවීමකි. අර හම්බ මෑ‍රැටි ‍රැලේ හොදම මෑ‍රැටියන් තුන් හතර දෙනෙකුට ශිෂ්‍ය නායකකම් ලැබී, උදෑසන ප්‍රධාන ගේට්‍ටුව අසල ‍රැවුල් කොන්ඩ ෆන්ක් කට් ඇල්ලීමට  ඔවුන් යොදවා සිටිනු දැකිය හැකිවිය.දු‍ටු දු‍ටුවන්ගේ ඇස් උඩ ගිය නමුත් අවසාන උත්තරයේදී මැ‍රැටි ‍රැල මැරෑටි කම් පැත්තක දමා විනය තැකීමට මෑ‍රැටි රෑලම යොදා ගැනීමට විදුහල්පති උතුමාට හැකිවිය.ඒ විදුහල්පති තුමා සොයා ගත අමුතුම තියරියක් නොව,කලමණාකරණයේදීම කියවෙන 80-20 පැරෙටෝ තියරියමය.

කොළු පැංචන් තමන්ම සංවිධානය වී තමන්ගෙ මැට්ටම් තම්මැට්ටම් කියා බජව් පාටි අර උත්සව මේ උත්සව පවත්වනවා අප දැක ඇත. අප මේ කතා කරන්නේ ඒ ගැනම නොවේය.

මේ කථා කරන්නේ රජ පරපුරේ ඇත්තන්, මාධ්‍ය ඔස්තාද්ලා කොල්ලෝ කුරුට්ටෝ එකතු කර, කොලු කුරුට්ටනේගේ අහිවූර්දිය උදෙසා බලෙන්ම දෙන පාටි ගැනය. ගොනා හැරෙන්නේ පොල් පැලේට බව පැලේට නොතේරෙනාට, සයිබරය නැමැති ගෙන්දගම් පොලෝවෙ කරකුට්ටන් වෙන කොල්ලෝ කුරුට්ටන්ට ඒ බව නොතේරී යන්නට හේතුවක් නැත.



බ්ලොග් කලාවේ ශක්තිය ඇත්තේ මහපොලෝවේ සංවිධානය වීමට වඩා සයිබර් අවකාශයේ වෙන සංවිධානයෙන් බව අපගේ මතයය. සයිබරයේ ගොඩ නැගුනු බ්ලොගය සයිබරයේ ශක්තිමත් වී ඒ ඒ සමාජ සංස්ථාවලට අහියෝගයක් වෙනු මිස එය මහපොලොවට ගෙනැවිත් මහපොලෝවේ දියකර දියකර යාමට ඉඩ දිය යුතුද යන්න අප ඔබ හමුවේ තබන විවෘත ප්‍රශ්ණය ය.බ්ලොග් කලාවේ දියුණුව අභිවෘද්ධිය පතන මහාමාත්‍ය පුරෝහිතයන්ට කල හැකි ලොකුම උදව්වනම් සයිබරයේ තොරතුරු ගලා යෑමේ නිදහස හා සයිබර් අවකාශය පුළුල් කිරීම බව අපගේ අවංක හැඟීමය.



සිංහල බ්ලොග් අවකාශයේ සමනලුන්ගේ ත‍ටු සැලීම.....