Friday, 16 January 2015

හරීන් ඔයා හරිද?

රස්නෙට වායූසමීකරණ යන්ත්‍ර සවි කර ගෙන තිබුනත් සීතලට හීටර්ස් පාවිච්චි කීරීම  අපේ අයට ආගන්තුකය. සීතල යැයි පවසමින් කල් දමා තිබූ ඌව පලාත් සභාව නැවත කැදවනු ලැබුවේ දින කීපයකට පෙරය. එහෙත් සැබවින්ම, අප මැතිදුන් හට සීතල ඇල්ලුවේ කුමන කාරණයක් නිසාද යන්න අප පාඨකයන්ට පැහැදිලි කිරීමට තරම් ඔවුන්ගේ දේශපාලන සවිඥාණය අවතකසේරු කිරීමේ උවමනාවක් මට නැත. කථාව එතරම් සරලය.

ඒ කථාව එතරම් සරල උවත්, වර්තමානයේ දිග හැරෙන කථාව එතරම් සරල නැත. මහින්ද රෙජිමයට එරෙහි පලමු වෙඩි මුරය මුදා හල හරීන් දැන් ඌවේ මහ ඇමතිය. හරි දේ කරමු කීව හරීන්,  ඌවේ මහ ඇමතිකම ගන්නේ  ජනතාවගේ ජන්ද බලයෙන් නොව, වෙනත් පක්ශයකින් බලයට පැමිනි ධනය හා බලය ඉදිරියේ දණ ගැසූ හොරුන් ‍රැලකගේ උදව්වෙන් වීම අපට ඇති ප්‍රශ්ණය ය. ඔහුගේ මහ ඇමතිකම පස්ස දොරෙන් දාපු ඩීල් එකක් වීම සහ යහපාලනය,  පොදු ජන මතය වෙනුවෙන් උස් හඩින් කථා කල හරීන් එසේ කිරීම අපට  ප්‍රශ්ණයකි. අපට ඇත්තේ හරීන් මහ ඇමතිකම ලබා ගැනීමේ ක්‍රමවේදයහි නීතීමය තත්වය ගැන ගැටළුවක් නොව, මැතිවරණ වේදීකාවේ  පතුරු ගැසූ සාධාරණත්වය ගැන හෘද සාක්ෂිය පිලිබද ගැටළුවක් බව වැඩිමනත් ලෙස සදහන් කල යුතුය.



හරීන්ගේ අවංකත්වය හා නායකත්වය ගැන අප හට ගැටළුවක් නැත. හරීන්ගේ වටිනාකම රුපියල් බිලියන ගණනින් ජනපති මැතිවරණ වේදීකාවේදී වෙන්දේසී වෙද්දී, මුදලට තම ආත්මය පවා නොදුන් හරීන් ගැන අපට ඇත්තේ ධණාත්මක පිලිගැනීමකී. නමුත් ඒ පිලිගැනීම, ඌවේ ජනතාවගෙ මහජන මතය අමු අමුවේ මහ දවල් මංකොල්ල කෑම ඉදිරියේ නිහඩව සීටීමට තරම් අපව දුබල කරන්නේ නැති බව කිව යුතුය.

හරීන්ගේ මහ ඇමතිකමේ සූජාතත්වය ප්‍රශ්ණ කරන අපිට, රනිල්ගේ අගමැතිකමේ පළුද්දක් නොපෙනෙන්නේ ඇයි දැයි කෙනෙකුට විමසිය හැක. එහෙත් රනිල් අගමැතිවන්නේ මුළු ලංකාව පුරා පැවති  ජාතික මැතිවරණයකින් පොදු ජන එකසත් පෙරමුණ හා එහි අපේක්ශකයා ප්‍රතික්ෂේප වෙන සන්දර්භයක් තුලය.වෙනත් වචනවලින් කියතොත් රනිල් අගමැතිවන්නේ ,  පැවැත්වූ ජාතික මැතිවරණයේදී පූර්ව කොන්දේසියක් ලෙස එය ඉදිරිපත් කර, එම යෝජනාව සදහා සමස්ථ ශ්‍රී ලාංකීක ජනතාවගේ  බහුතරයකගේ අකමැත්තක් නැති තත්වයක් තුලය. එය පාර්ලිමේන්තූවේදී  කුමන හෝ ආකාරයෙන් නිරූපණය වීම ගැන අප ප්‍රශ්ණ නොකරන්නේ එහෙයිනි.



එහෙත් හරීන් මහ ඇමති වන්නේත්, ඌව පලාත තුල පොදුජන එක්සත් පාලනය පෙරලා දමන්නේත් එවන් මහජන වරමක් ඉදීරියේ නොවන බව කිව යුතුය.
පැවති ජාතික මැතිවරණයේදීද ,එනම් පසුගිය ජනපතිවරණයේදීසමස්ත ඌව පලාතේ කැමැත්ත තිබුනේ  පොදු ජන එක්සත් පෙරමුණටමය. එය ඊට පෙර පැවති ඌව පලාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයේම ප්‍රතිබිම්භයක් බදුය.

2015 ජනපතිවරණය තුලදී පොදු පෙරමුණ බදුල්ල ද්‍රිස්ත්‍රික්කයෙන් ඡ්න්ද 249 243 ක් ගන්නා විට සිරිසේන මහතා ඡන්ද 249 524 ක් ලබා ගත්තේය.පැවති පලාත්පාලන මැතිවරනයේදී පොදු ජන එකසත් පෙරමුණ ඡන්ද 209,056 ක් ලබා ගන්නා විට එක්සත් ජාතික පක්ශය ඡන්ද 197,708 ක් හා ජනතා විමුක්ති පෙරමුන ඡන්ද 20,625 කි. ආසන බෙදී ගියේ පොදුජන එකසත් පෙරමුණට 9 හා එයට විරුද්ධව 9 ක් ලෙසිනි.

එසේම පැවති ජනපතිවරණයේදී මොනරාගල ද්‍රිස්ත්‍රික්කයෙන් පොදු පෙරමුණ 172,745 ලබා ගන්නා විට  සිරිසේන මහතා 105,276 ලබා ගෙන ඇත. සංසන්ධනාත්මකව පැවති පලාත් පාලන මැතිවරණයේදී මෙය පොදු ජන එකසත් පෙරමුණ ඡන්ද 140,850 ක් හා එක්සත් ජාතික පක්ශය ඡන්ද 77,065 ක් හා ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 15,955 කි.





එසේ නම් ඌවේ ජනතාව තම පලාත් සභාව තුල බල වෙනසකට තම මනාපය ප්‍රකාශ කර නොමැති බව පැහැදිලිය. ඔවුන්ගේ හඩ එදත් අදත් නොවෙනස්ය. හරීන්ගේ මහ ඇමතිකම ජනතා තින්දුවේ මංකොල්ලයක් යැයි අප පවසන්නේ උක්ත කාරණා පෙරදැරි කරගෙනය.

මධ්‍යම , බස්නාහිර , උතුරුමැද සියල්ල වෙනස් වෙද්දී ලියුම්කරු හරීන් දෙසට ඇඟිල්ල දිගු කිරීම සාධාරණදැයි කෙනෙකුට විමසිය හැක. ඒ ඒ පලාත් වලද පලාත් සභා පෙරලීම පිලිබඳ ගැටළු ඇතත් ඒ සෑම පලාත් සභාවකම පොදු වශයෙන්, ජනපතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණ හා එහි අපේක්ශකයා පරාද විය. ජනතා තේරීම වූයේ මහින්ද විරෝදයයි.එහෙත් ඌවේදි එසේ වී නැත. එදත් අදත් එහි කැමැත්ත පොදු පෙරමුණමය.

මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රකාශ වුයේ තනි පකශයකට හෝ පුද්ගලයෙකුට දැක් වූ  කැමැත්තක් නොව බලයට, බාහු බලයට එරෙහි යුක්තිය වෙනුවෙන් සමස්ථ ජනතාවට නැගූ හඩකි. යුක්තිය , මහජන මතය වෙනුවෙන් නැගුනු හඩ නැවත බලය හා ශක්තිය ඉදිරියේ දණ ගැසීමට සිදු වීම, ඒ ජනතා මතයට දුන් අතුල් පහරක් බදුය.මහජන වරම ලබා දුන් දින 100 වැඩ පිලිවෙලට ඌව පලාත් සභාවේ බලය පෙරලීමෙන් ලබා දෙන සහය කුමක්දැයි අපට නම් තේරූම් ගත නොහැක. එසේම රනිල් වික්‍රමසිංහ වැනි පරිණත නායකයකු තුලින් කිසීසේත් බලාපොරොත්තු විය නොහැකි, මෙවන්  මහජන මතයට පයින් ගැසීම සම්භන්ධව අපට ඒ මහතා සමඟ එකට සිට ගත නොහැක..


දේශපාලන මඩ ගෝහොරුවෙන් සුජාත පුත්‍රයන් බිහිවීමේ ෆැන්ටසි සිහිනයන් අප තුල නැත. එහෙත් යහපාලන, සාධාරණත්වය, ජනතා මතය සපථ කරමින් බලයට පැමිණි පිරිසකට එය අලුයම ලූ කෙලපිඩක් සේ අමතක කිරීමට තවම කල් මද බව අප මතක් කල යුතුය.

Monday, 12 January 2015

අධීවේගය නැමැති මල්වට්ටියට ඔබේ සම්මාදම කොච්චරද?

ලංකාවේ අපේ කට්ටියට අධීවේගී මාර්ග දැන් ඇඟට ජීරණය වෙලා ඉවරයි. ඒ නිසාම ලංකාව වගේ රටකට අධීවේගී මාර්ග අවශ්‍යදැයි කියන කාරණයට බහුතර  සහ ජනප්‍රිය මතය 'ඔව්'.

අධීවේගී මාර්ග කීපයක නිතරම ගමන් ගන්න, ඒ නිසාම කීයක් හරි හොයා ගන්න මගෙත් මේ සදහා පැහැදිලි උත්තයරය 'ඔව්' කියන එක විය යුතුයි.එහෙත් එහෙම අත්දෙකම උස්සලා කෑ ගහන 'ඔව්'  කිවිල්ලකට මගේ දිව නැමෙන්නේ නෑ.



මේ ගැන යම් තරමක් දුරට හොද සංවාදයක් ඇති වුනා මගේ පසුගිය පෝස්ට් එකේ කමෙන්ට්ස් තුලින්.


මේ තියෙන්නේ රාජ් සමඟ ඇති වූ සංවාදයෙන් අහුල ගත්ත ඒවා...

මයියා : ලංකාවට අධීවේගී මාර්ග අවශ්‍යද යන කාරණය ගැන මට තියෙන්නේ මිශ්‍ර හැගීමක්.පෞද්ගලිකව එවා පාවිච්චි කරන්නෙක් නිසා මට එයින් පහසුවක් සැලසී තිබෙනවා. කෙසේ නමුත් අධීවේගී මාර්ග සංවර්ධනයේදී බරපතල සමාජ අසාධාරණයක් සිදු වෙනවා. ඒක වෙන්නේ ලංකාවේ පවතින අවිධිමත් බදු ක්‍රමය නිසයි.අධීවේගී මාර්ග වල යෑමට තියා එවා ඇස් දෙකටවත් දැක නැති ඩොටේ සිරියාවතිගේ භූමිතෙල් කාලේන්, සිරිපාලගේ ත්‍රී වීල් එකෙන් මේ අධීවේගී පාරවල් වලට ගෙවීම එහි ඇති අසාධාරණයයි. කොටින්ම කියතොත් අධීවේගී මාර්ගයේ ගමන් කරන්නන් සහ එහි ප්‍රතිලාභ ලබන්න්නන් ( ගමන් කරන්නන්ට අමතරව) එහි සැබෑ මුදල නොගෙවීම මෙහි ඇති ප්‍රශ්ණයයි. 

සුභසාදක ආර්ථියකය ඇති රටක සාමාන්‍යයෙන්  විය යුත්තේ මෙහි විරුද්ධ පැත්තයි.

එනම් නැති හැකි අයට ඇති අයගෙන් පොම්ප කිරීමයි. එහෙත් ඔක්කොම කණපිට ගහන ලංකාවේ වෙන්නේ නැති බැරි අයගෙන ඇති හැකි අයට කන්න දීමයි

රාජ් : මයියා මේ තර්කයේ වැදගත් කමක් මට නම් පේන්නෙ නෑ. මයියා කියන විදියේ බදු ක්‍රමයක් ඇතිකරන්න බෑ. උදාහරනයක් විදියට මම සීටීබී යන්නෙ නෑ. නමුත් සීටීබී එකේ පාඩු පියවෙන්නෙත් මගේ පොකට් එකෙන් ගත්ත කොටසක් ඇතුලත්ව. මට ඕනකමක් නෑ ආගම් අදහන්න. නමුත් ආගමික කටයුතු අමාත්යන්ශය වෙනුවෙන් මගේමුදල් යෙදවෙනව.
අනිත් කාරනාව අදිවේගී මාර්ගය සාමාන්ය මිනිස්සු පාවිච්චි කරනව.

අපි බලන්න ඕන දූශන සිදුවෙලාද කියල මිසක් අනිත් දේවල් නෙවේ.

මයියා :

ස්තූතියි රාජ් අදහසට...

මේ අදහසේ වැදගත් කමක් ඔබ පිලිගන්නේ නැත්තේ ලංකාවේ බදු ක්‍රමයේ තියෙන තියෙන එක්තරා කාරණාවක් හින්දා. 

කිරිපිටි වලින්, තේ කොල වලින්,ප්‍රැට්‍රල් වලින් ඩීසල් වලින් වෙන වෙනම ගහන බදු වෙනුවට, (Indirect Tax) තමන්ගේ වැ‍ටුපෙන් කෙලින්ම බදු කපා ගන්නා ක්‍රමයක් ( Direct Tax)ලංකාවට කවදා හරි ලැබුනෝත් මට ව්ඩ හොදට ඔබට මේ බදු ක්‍රමයේ අසාධාරණය පෙනෙවී යැයි උපකල්පනය කරනවා.

රටේ 2% වැනි ඉතා සුලු පිරිසකට ගමන් කිරිමට රටේ බහුතරයක් ණය කිරීමේ පොලිසි ඩිෂිෂන් එකේ වෑ‍රැද්දක් බව පේන්න නම් මේ බදු ක්‍රමයේ ඇති අසාධාරණය පිලිගන්න වෙනවා

ලංකාවේ බදු ගහන්නේ හංගලා හින්දා මිනිස්සුන්ට ආණ්ඩුව දුවන්නේ මිනිස්සුන්ගේ සල්ලි වලින් කියලා ඇඟට දැනෙන්නේ නෑ. බුද්ධිය කොච්චර එසේ කිව්වත්, වැඩවසම් ක්‍රමයේ නටබුන් මත ජීවත් වන බහුතර ලංකිකයට තාම දැනෙන්නේ මේවා රජතුමාගේ සල්ලි වලින් කරන බවයි..

ඒත් වක්‍ර බදු අඩු කර උපයන විට බද්ද වැඩි කල විට මිනිස්සු තමන්ගේ සල්ලි වලට වන දේ ගැන මීට වඩා හිතාවී...

දැන ගැනීමට : දල වශයෙන් ලංකාවේ ඉන්ඩිරෙක් ටැක්ස් 80% වන අතර ඩිරෙක්ට් ටැක්ස් 20% ක් වේ.. එහෙහ්ට් දියුණු රටක මේ අනුපාතය 20% :80% අනුපාතය වේ




මේ තියෙන්නේ ජාතිකවාදියෙක් උන දර්ශන කස්තුරිරත්නගේ අදහස



දර්ශණ : මට තේරෙන විදිටය අධිවේගීමාර්ගවලට එන ණයවලින් වැඩි ප්‍රමානයක් ගෙවන්නේ ඒවායේ යන අයමයි. ඒගොල්ල සල්ලි ගෙවලා යන්නේ. මේවායේ ගිවිසුම් ඇත්තේ වසර ගණනාවක් තිස්සේ මේවායේ ආදායම අදාළ බැංකුවට යන විදියට. ඒ විදියට තමා ණය පියවෙන්නේ. මට හිතෙන ප්‍රශ්නය ඉඩම් සහ පරිසරය සම්බන්ධ එකක්. ලංකාව මහා විශාල රටක් නොවේ. තියෙන්නේ සිමිත ඉඩම් ප්‍රමාණයක්. අධිවේගී මාර්ග නිසා දැවැන්ත පාරිසරික හානියක් වෙනවා. පරිසරය දෙකඩ වෙනවා. අනෙක් අතට මේවායේ ප්‍රතිලාභ ලැබෙන්නේ වාහන තියෙන අයට විතරයි. බහුතරයක් යන්නේ දුම්රිය බස් වැනි පොදු ප්‍රවාහන සේවාවල. ඒ අයට මේවායෙන් ලොකු ප්‍රතිලාබයක් නෑ. රටට යම් ප්‍රතිලාභයක් තියෙනවා. නමුත් ඒ වෙනුවෙන් ගෙවන මිල (වියදම නොවේ) වැඩියි.

මයියා : නැහැ දර්ශණ...අධිවේගී මාර්ග වලට යන වියදම දරන්නේ එහි ගමන් කරන අයම නෙවෙයි...ඔවුන් දරන්නේ එයින් ඉතා සුලු කොටසක්....

උදාහරණයක් ලෙස දක්ෂිණ අධීවේගී මාර්ගයේ සාමාන්‍ය අවුරුද්දක ආදායම ‍රැපියල් බිලියනයක් විතර. ඒත් දක්ෂිණ අධීවේගයේ වියදම රුපියක් බිලියන 80 ක් විතර. එහි නඩත්තු කටයුතු මුදල මෙයට ඇතුලත් නෑ... ඒවගේම ඒ බිලියන 80 වේ පොලිය මෙයට ඇතුලත් වීත් නෑ...2-3% අඩුම පොලිය ගත්තත් මේ ආදායම ,රුපියල් බිලියන 80 පොලිය විතරක් ගෙවෙන්න විතරක් ප්‍රමාණවත් මුදලක්. කෙසේ නමුත් අධීවේගී මාර්ගය ඉදී කිරීමනිසා සිදුවන ආර්ථික වර්ධනය, තෙල් ඉතුරුවීම මෙයට ඇතුලත් විය යුතුයි.

එහෙම බැලුවම අර රුපියල් බිලියන 80 දාල තියෙනෙන සමාන්‍ය ජනතාවගේ බඩට කියන එක ඔබට පැහැදිලි ඇතැයි සිතනවා..

7%-8% චීන ණය ( මේවයේ සැබෑ වියදම ඊට වැඩියි) වලින් කෙරෙන අයෝජන වල තත්වය මීට වඩා දරුණුයි...

මට කියන්න ඔනේ ණය ගන්න එපාකියලා නෙවෙයි..ගත්ත ණයෙන් උපරිම ප්‍රතිලාභය ගන්න කියලා සහ දූශණය අවම කරන්න කියලාවිතරයි....



ඔන්න ඔහොමයි තොරණේ විස්තරේ......

ඕනෑම අයෝජනයක කොස්ට් බෙනි‍ෆිට් (Cost - Benefit) ඇනැලිසිස් එකක් කියලා තියෙනවා.....අධීවේගී මාර්ග සංවර්ධනයේදී කොස්ට් (Cost:වියදම) එකට හරියටම ගණං හිලවු කියන්න පුලුවන් උනත් බෙනි‍ෆිට් (Benefit ;ලාභය) එකට ඉලක්කං රිංගවන එක ටිකක් අමාරු කාර්‍යක්...

උදාහරණයක්  අධීවේගී මාර්ගයක් තැනීම නිසා ඇතිවන වාසී  ( Benefits) ලෙස සලකනු ලබන්නේ...
1. වාහන ඉන්ධන කාර්‍යක්ෂමතාවයෙන් ඇතිවන ඉන්ධන ඉතිරුම
2.)මගීන් හා භාණ්ඩ ප්‍රවාහනයේ දී ඉතුරුවන කාලය නිසා ඇතිවන ආර්ථික වාසිය
3.) මාර්ගය ආශ්‍රිත පෙදෙස් වල සිදුවන සමාජ ආර්ථික දියුණුව ආදියයි..

මේ කාරණා බලන කොට මේවා ඉල්ලකම් වලින් කොච්චර නිවැරදිව ගණනය කර ගත හැකිදැයි යන්න ප්‍රශ්ණාර්ථයක්...කොටින්ම මෙවැනි කාරණා සම්භන්ධව සිදු කරන ගණනය කිරීම වලිදි A නැමැති පුද්ගලයා ඉදිරිපත් කරන ගනං හිලව්, B නැමැති පුද්ගලයා සිදු කරන ගණනය කිරීමට වඩා ලොකු වෙනසක් වෙන්න පුලුවන්....


ඒ නිසාම තමයි ලංකාව වගේ රටකට අධීවේගී මාර්ග අවශය්‍යදැයි කියන කාරණය සම්භන්දයෙන් මට පොඩි මිශ්‍ර හැඟීමක් එන්නේ........

ප:ලි  ;  මේ පෝස්ට් එක ලියලා තියෙන්නේ බ්ලෝග් පොස්ට් එකකට වැටිච්චි කමෙන්ට්ස් වලින්....පෝස්ට් එකක් ලියන්න වේලාව අඩු වෙචිචි වෙලාවට ගොඩ යන විදිහක්....මේ වගේ පෝස්ට් එකකට දාන්න හොද නමක් කියන්න බලන්න කට්ටිය එහෙනං.....