Wednesday 19 December 2012

ක්‍රිස්තුත් වහන්සේ සමලිංගිකයෙක්ද? : Was Jesus gay?


පලමු වසරේ ඉගෙන ගන්න අපේ ලොකු  කොල්ලගේ වාර විභාගේ තිබ්බේ ලගදි. බුද්ධාගම විෂය  පහුවදාට යෙදිලා තිබ්බ නිසා, ඉරිදා දවසේ නිස්කලංකව හිටපු මාත් කොල්ලගේ විභාගේට උදව් වෙන්න කියලා ලෑස්ති උනා.  වෙසක් දවසේ වෙච්චි වැදගත් සිදූවීම් මොනවද කියලා පැහැදිලි කොරලා, ඒවා මතක තියෙන්නත් එක්ක, ඒ සිදුවීම් චිත්‍රයට නගන්න කියලා, ඒ ඉසඹුවෙන් මම ජංජාලගත උනා. අතරින් පතර ලොක්කා මොනවදෝ ඇහුවත්, ජංජාලගත වෙලා සිංහල බ්ලොග් අවකාශයේ අතරමං වෙලා හිටපු මට ඒ ගැන හරි නිච්චියක් නෑ.

කොහොම උනත් ලොක්කා ලස්සනට ඉපදීම, බුදූවීම හා පිරිණිවන් පෑම චිත්‍රයට නගලා තිබුනා. මට වඩා ඌට කොහොමත් කලාව පිහිටලා තියෙනවා. ඒත් පොඩි අවුලකට තිබ්බේ මේකා, සිදුහත් කුමරුටත් ‍රැස්වලල්ලක් දාලා ඇදලා තිබ්බ එකයි. මම නම් දන්න විදිහට ‍රැස් වලල්ල බුදුවීමේන් පසුව සිදු වූ දෙයක්. ඕක පහදලා දෙන්න ගියාම ලොක්කගේ මූන දෙල් වෙලා ගියා.ලස්සනට පාට ගාපු එක මකලා දාන්න එයා කැමති නෑ. අන්තිමේදි මට පරාජය භාර ගන්න උනේ ඉස්කෝලේ පාඩම් පොතෙත් සිදුහත් උපත ඇදලා තියෙන තැන ‍රැස් වලල්ලක් ඇදලා තිබ්බ නිසයි.

සිදුහත් කුමරුට ෂට්වර්ණ ‍රැස් වලල්ලක් දැම්ම එක ලොකු ප්‍රශ්ණයක් නොවුනත්, කුඩා යේසුස් කුමරුට ‍රැස් වලල්ලක් දැම්මොත් නම් ඒක ටිකක් ලොකු ප්‍රශ්ණයක් වෙනවා.ඇත්තටම ඒක එහෙම වෙලා තියෙනවා.




ඒක එහෙම වෙන්නේ LGBT පොරවල් හදුන්වන සංඛේතයක් ලෙසත් දේදුනු වර්ණ යොදා ගන්න නිසයි. ( Lesbian, Gay, Bisexual, Transgender : කාන්තා හා පුරුශ සමලිංගිකත්වය, ද්විලිංගිකත්වය, ස්ව්‍යං ලිංග  පරිවර්ථනය ).කොටින්ම  LGBT කොඩියට ගන්නේ දේදුනු වර්ණ.

ජෙනේ රොබින්සන් , ඇමෙරිකාවේ එපිස්කෝපල් පල්ලියේ සමලිංගික බිශොප්වරයෙක්. ඔහු සමලිංගිකත්වය ප්‍රසිද්ධියේ පිලිගත් පලමු වැනි බිශොප්වරයායි.

"ක්‍රිස්තුත් වහන්සේගේ සමකාලීන සමාජය විවාහය අත්‍යවශ්‍ය දෙයක් ලෙස සිතූවක්. නමුත් ඔහුගේ ජීවීතයේන් වැඩි හරියක් ගෙවුනේ මිනිසුන් දොලොස් දෙනෙක් සමගයි. ඒ අතුරෙනුත් තුන් දෙනෙක් නායකත්වය සදහා විශේෂ උනා. එයිනුත් එක්කෙනෙක් ගැන බයිබලයේ සදහන් වෙන්නේ 'යේසූස් වහන්සේ ආදරය කල' යනුවෙනුයි."

මේ කාරණය උලුප්පලා ගන්නේ  ජෙනේ රොබින්සන් බිශොප්වරයායි. ඔහු කියන විදිහට නම් යේසුස් වහන්සේ සමලිංගිකත්වය අනුමත කරලා තියෙනවලු.

මේක කියෙව්වම මට නම් මතක් උනේ ජීප්සීසල්ගේ පරන සිංදුවකුයි...

ලේසීයටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා....
එහෙම කලත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා....
නැතිනම් හදලා කියනවා.....

ඒ උනත් මට තියෙන ඇත්තම ප්‍රශ්ණ නම් මේවායි................

ඇත්තටම සමලිංගික සේවනය පවක්ද?

මේරී මග්දලේනා සහ ඇගේ දරුවන් ගැන කථාව ඇත්තක්ද?

Thursday 6 December 2012

රජතුමා හා ඇත්තෑ එක::: Mahinda Vs 71


උදේ පාන්දරම  ජංජාලගත වෙලා ඉන්න කොට අහම්බෙන් වගේ දැක්කා ලෝක ප්‍රසිද්ධ ෆෝර්බ්ස් සගරාව ලොකේ ඉන්න බලවත්ම පුද්ගලයන් 71 දෙනා නම් කරපු  නිව්ස් එක. මයියගේත් මෝඩ කමට පරිමාවක් නැති හින්දා ජාතිආලයයි,  දේශහිතෛශීකමයි පෙරදැරිකරගෙන නමෝ විත්තියෙන් හොම්බ දාලා බැලුවා බැරි වෙලාවත් අපේ රජතුමත් ලිස්ට් එකෙ ඉන්නවද කියලා..මොනාද ඉතින් ඛේදයකි තිතකි  තමයි.....


http://www.forbes.com/sites/davidewalt/2012/12/05/the-worlds-most-powerful-people/

ගිය ගමන් ආපහු හැරිලා එන්නත් බැරි හින්දා මාත් බැලුවා අපේ රජතුමාට බලවත් 71න් අන්තිමයාවත් වෙන්න බැරි  කාරණාව මොකදෑ කියලා. මොකද අර සූරපප්පගේ කා‍ටුන් එකේ ඉන්න වෙද පප්පා දෙන  අරිශ්ඨෙ වගේ හැමදාම රූපවාහිනියයි, ස්වාධීන එකෙයි නිව්ස් බැලුවම ඇගට පුදුම ජවයක්නේ එන්නේ. ඒ වෙලාවට නම් ඇත්තටම  හිතෙන්නේ ලෝකේ කැරකෙන්නේ රාජපක්ශ උතුමා වටේ කියලනේ. ඒත් මේ ඇමරිකන්කාරයෝ හදන ලිස්ට් වල අපේ අයගේ නම් නැති උනාම තමයි අපටත් මල පනින්නේ..මොකද අපිත් සිංහල කොල්ලොනේ..ඒත් පොඩ්ඩක් කූල් ඩවුන් වෙලා සීන් කෝන් එක පොඩ්ඩක් ස්ටඩි කොරන කොට තමයි තේරුනේ ලිස්ට් එකට ඇතුලු වෙන්න බැරි වෙලා තියෙන්නේ රජතුමාගේ තියෙන අහේතුවකට නොවන විත්තිය.

ලිස්ට් එකට ඇතුලු වෙන්න නම් හොදට සල්ලි එහාට මෙහාට කරන්න පුලුවන්, මිනිස්සු වැඩි ගානකගේ ජීවීත වලට බලපාන පොරක් වෙන්න ඕනලු. ඒත් බලන්නකෝ අසාධාරනේ එගොල්ලො මේකට දෙවියන් ගාව ගන්නේ නෑලු.දෙවියන්වත් මේ සීන් එකට ඇදලා ගත්ත නං ඉතින් අපේ රට බලා ගන්න ඉන්න තිස් තුන් කොටියක් උන දෙයියොයි,  යන්තන් කාල ඇදලා ඉන්න දෙකොටියයි එකතු කරලා ගත්තම තිස් පන් කොටීයක්ම පාලනය කරන්නේ අපේ රජතුමානේ. ඒක නිසා සීන් එකට එන්ටර් වෙන්න අපේ රජතුමාට මිනිස් ඔලු ගාණ මදි.

අනිත් කාරණේ සල්ලි. අපේ රටේ මුලු රාජ්‍ය ආදායමම ඉතින් ඩොලර් බිලියන 10 නේ.  ඒකෙනුත් භාගයක් ණය. ඒ උනාට ලොකේ ලොකුම සල්ලි කාරයා ගාවත් ඩොලර් බිලියන 72 ක් තියෙනවලු.ඉතින් කොහොමද අපේ රජතුමා මෙච්චර සල්ලි කන්දරාවක් එක්ක හැප්පේන්නේ...අඩුම ගාණෙ තෙල් ටිකක්වත් තිබ්බා නම් පොඩි ගේමක් දෙන්න තිබ්බා. මොකද ලොකේ 20% තෙල් සංචිත තියෙනවයි කියලා අර සෞදි රජාවත් මුන් මේක අස්සට රිංගවලා.

අපේ රජතුමාට බැරි උනාට ඉතින්,අපේ අල්ලපු රටේ කීප දෙනෙක් නම්. ලිස්ට් එකේ ඉන්නවා. සෝනියා නොනයි , සිං මහත්තයයි දෙන්නම මදිවට මුකේශ් අම්බානිත් ගොඩ..මොනා උනත් ඉතින් අසල්වාසීන් නේ කියලා සතු‍ටු වෙන එකයි තියෙන්නේ....

ඒ වගේම තමයි අපේ රජතුමාගේ හොදම යාළුවෝ වෙච්ච චීනෙයි , රුසියාවේ ලොක්කොත්  ලිස්ට් එකේ උඩින්ම ඉන්නවා. රජතුමත් මොල කාරයා.නැත්නං ඉතින් අසල්වැසියටත් කොකා පෙන්න ගෙන මේ ගොල්ලන්ට සෙට් වෙයිද?

ඒකෙන් මේකෙන් වැඩක් නෑ..මට දුක මේ කපේදී අපේ රජතුමාට ලිස්ට් එකට රිංගන්න බැරි බව මතක් වෙනකොටයි....ඕ ගොල්ලන්ටත් ටිකක් දුකයි නේද? දුක් වෙන්න එපා..තව ටිකක් රූපවාහිනියෙයි, ස්වාදීනෙයි නිව්ස් ටිකක් බලලා, අතට අහුවෙන දෙයක් කටට හැපෙනව නම් බඩට දාගෙන හොදට නිදා ගන්නයි තියෙන්නේ.......ඇහෙරෙන කොට ඔක්කොම හරි යයි.......

ප :ලි ; මං බැලුවා මුන් හරියටම 71 ක් ‍තෝරන්නේ මොකද කියලා.රජතුමා 72 වෙලා මුන් කුමන්ත්‍රණයක් කලා ද දන්නේ නැනේ...ඒත් බැලින්නං දැන් ලෝක ජනගහනේ බිලියන 7.1 ලු. මුන් ඒක බිලියනයකින් බෙදලා සූට්ටං 10න් වැඩි කොරලා

Tuesday 4 December 2012

උසාවියක් නිහඩ කල ඝාතකයා - මේ ඔහුගේ කථාවයි -2 : The story of Mahatma Gandhi Killer : Nathuram Godse


http://ts2.mm.bing.net/th?id=H.4963827654328661&pid=15.1&H=160&W=129

''මහත්මා ගාන්ධි  යනු  'ජාතියේ පියා' යැයි සමහරු කියති. එය එසේ නම් මා ඔහු තුලින් දකින්නේ තම වගකීම ඉ‍ටු නොකල පීතෲත්වයයි. මුස්ලිම්වරුන් පිනවීම පිණිස භාරතය දෙකඩ කිරීම එහි කූට ප්‍රාප්තියයි. මහත්මා ඔහුගේ ඓතිහාසික කාර්‍යභාරය හමුවේ පාරජිතයෙක් . ඔහු භාරතයේ නොව පාකිස්ථානයේ පියා ය. ඔහුගේ ආධ්‍යාත්මික හඩ , පෞරුශය, අවිහිංසාවේ ක්‍රියාමාර්ග, පාකිස්ථානයේ අලිජින්නා ගේ අයෝමය අධිශ්ඨානය ඉදිරියේ සුණුවිසුණු වී හමාර ය''.

මේ හඩ නාතුරාම් ගෝඩ්සේය, ඉරණම තීරනය වී ඇතත්, විත්ති කුඩූවේ සිට නැගෙන්නේ ඔහු විස්වාස කල ,මදකදු නෙසෙල්වුනු ඔහුගේ  කථාවයි

http://ts1.mm.bing.net/th?id=I.5001567518066476&pid=15.1&W=160&H=104

තමන්ගේ මතවාදය හෝ විශ්වාසය වෙනුවෙන් කථා කරන්නෝ බොහෝ ය. ඒ අතුරින් එම මතවාදය, විශ්වාසය වෙනුවෙන් ක්‍රියාවෙහි යෙදෙන්නෝ සුළුතරයකි. එම සුළුතරයෙනුත් තමන්ගේ 'ජීවිතය' ඒ වෙනුවෙන් කැප කරන්නෝ අල්පය. ජීවිතය කැප කරන්නෙක් උවද ඒ පරිත්‍යාගය වෙනුවෙන් හිලවු වන්නේ ලැබීමට නියමිත සමාජයේ උත්තරීතර පිලිගැනීමය. එහෙත් තම ජීවීතය පමණක් නොව ඒ කැප කිරීම වෙනුවෙන් නියමිත සමාජ පිලිගැනීමද කැප කොට ඒ වෙනුවට සමාජ අපවාදය ලැබීමට තරම් තම මතවාදය, විශ්වාසය වෙනුවෙන් කැපවූවෝ  ඉතිහාසයේ ඇත්තේ අතලොස්සකි. නාතුරම් ගෝඩ්සේ  නැතහොත් මහත්මා ඝාතකයා අයිතිවන්නේ ඉතිහාසයේ ඉහත  කී අතලොස්සක් වූ නියැධියටය. මේ ඔහුගේ පාපොච්චාරණයයි.....

මා උපත ලැබුවේ උසස් බ්‍රහ්මණ පවුලකය. එය භක්තිමත් හින්දු පවුලක් විය. නමුත් තාරුණ්‍ය මා වෙලා ගනිද්දී, මම ක්‍රමිකව නිදහස් ලෙස සිතන්නට පුරුදු  විමී. මිත්‍යාවිශ්වාස වලින් බැහැරව, කිසිදු දේශපාලන හෝ ආගමික බැදීමකින් තොරව සිතන්නට මට අවශ්‍ය විය. මේ නිසාම බ්‍රහ්මණ වංශිකයෙක් උන මම,  හීන කුල ඇත්තන් සමග වැඩ කිරීමට පටන් ගත්තෙමි. උප්පත්තියෙන් තීරණය කරන උස් පහත් බව මා හට ප්‍රිය නොවීය. මම ප්‍රසිද්ධියේ කුල වාදයට විරුද්ධව පෙනී හිටියෙමි. කුල නීතී කඩා දමමින් හීන කුල ඇත්තන් සමග ආහාර ගැනීමට වාඩී උනෙමි.

මා සමාජවාදය, මාක්ස්වාදය පිලිබද ලියැවුනු පොත පත පරිශීලනය කලෙමි. නමුත් මා වඩාත් උත්තේජනය කෙරුවේ  වීර් සවාකර් හා මහත්මා ගාන්ධි විසින් රචිත පොත පත හා ඔවුන්ගේ කියුම් කෙරුමය. ඉන්දියානුවන්ගේ හිස හා කවන්දය ඔවුන්ය. එහි සැකයක් නැත

මහත්මාට එරෙහිව නොසරුප් වචන භාවිතයට මට සිත ඉඩ නොදෙයි. ඔහුගේ මතවාදීමය පදනමේ ඇති අඩුලුහුඩූකම් මා හදවතේ සිර වී පවතීවී.  නමුත් මා දවා අළු කරන්නේ මුස්ලිම්වරුන් වෙත ඔහු දක්වන අසීමීත ලිහිල්භාවය ය. ඒ ලිහිල්භාවය හීන්දූන් වෙත යොමු නොවෙන්නේ ඇයි.



පන්ජාබයේ ඇති වූ මුස්ලිම් අන්තවාදී නැගිටීමට විරුද්ධව රටේ අනෙකුත්  පලාත් වල හින්දූන් නැගී සිටිද්දී, ආන්ඩුවේ තුවක්කු නිහඩ කලේ හින්දු අරගලය පමණය.මිලියන 110 ක් ජනයා අවතැන් වීමට තිබෙද්දී මුස්ලිම්වරුන් සිටියේ මිලියන 4 කි. නමුත් මහත්මාගේ අවිහිංසාව ක්‍රියාත්මක වූයේ මූස්ලිම්වරුන් උදෙසා පමණය.

විනිශ්චය හා විනිසුරුවරයා මහත්මා ම විය.  ප්‍රජාත්‍රන්තවාදී ආණ්ඩුවට නිදහස් භාරතයේ ඉරණම තීන්දු කිරීමට බලයක් නොවීය.සත්‍යග්‍රහය, උපවාසය මගින් මහත්මා ආණ්ඩුව හැසිරවීය.


http://ts2.mm.bing.net/th?id=I.4563914652189873&pid=15.1&W=160&H=122

ආණ්ඩුව පාකිස්ථානය ගෙවීමට නියමිත  කොටි 50 ක මුදල නොගෙවීමට ප්‍රතිපත්ථිමය තීරනයක් ගත්තේය. ඒ එම මුදල් පාකිස්ථානය විසින් ඉන්දියාවට එරෙහි ත්‍රස්ත්‍රකටයුතු සදහා යොදාගන්නේ යයි සැකය පිට ය. නමුත් මහත්මා මීට වීරුද්ධ විය. ඔහු මීට විරුද්ධව ජනවාරි මුල් සතියේදී මහා සත්‍යග්‍රහය හා උපවාසයට වාඩි විය. ආන්ඩුව දෙදරා ගියේය.මහත්මාගේ බලපෑමෙන් ආන්ඩුවේ තීරනය උඩු යටි කුරු විය.

දශක තුනක් තිස්සේ මහත්මාගේ හින්දූන් ප්‍රකෝපකිරීමේ හා මුස්ලිම්වරු සැනසීමේ අවසාන අවස්ථාව එය විය යුතුව තිබිනි. පශ්චාත් නිදහස් භාරතය තුල ඔහුගේ ප්‍රධාන අවිය වූ 'සත්‍යග්‍රහය' භාවිතා වී තිබුනේ මුස්ලිම් වරුන් පිනවීමටය....ජනවාරි 13....එදින මහත්මාගේ  ජීවීතය පිලිබද තීරනය කෙරිනි.

හරි හෝ වැරදි වේවා තමා විශ්වාස කරන මතවාදය, විශ්වාසය වෙනුවෙන් පෙනි සිටීම අගේ කල යුතුය. එහෙත් තමන්ගේ විශ්වාසය හෝ මතවාදය රටේ පවතින නීතිය අධික්‍රමණය කරන්නේ යැයි විශ්වාස කිරීම, සමාජ ශෝධනයක්  නොව, බහුතර සාමකාමී සමාජයට අභියෝගයකි. නාතුරාම් ගෝඩ්සේ ආයතනගත නීතීයට අභියෝග කරන්නේ නැත. ඒ වෙනුවට ඔහු නීතීයේ ඔහුට නියමිත දඩුවම පිලිගනී. ඔහු ඉ‍ටු කලේ ඉතිහාසය විසින් ඔහුට නියමිත කාර්‍යභාරයයි. නීතීය ඉදිරියේ ඔහු ඝාතකයකි. හදවත ඉදිරියේ ඔහු කෑ ගසා ප්‍රකාශ කරන්නේ ඔහුගේ අවංකත්වයයි. ඉතිහාසය ඔහුට හිමි ස්ථානය නිර්නය කර ඇති බව නොඅනුමානය. මේ අවදි වන්නේ ඔහුගේ හඩය...

''මම සිතුවෙමි. මම මා ගැනම සිතුවෙමි. මහත්මා ඝාතනය මගේ ජීවිතය අඳුරු කරනු ඇත. මා පණටත් වඩා අගය කරන මාගේ ආත්ම අභිමානය සුණු විසුණු වී යනු ඇත්තේය.ජනතා අපවාදය මිස හොදක් නම් නොලැබෙන්නේය'''.

''මා අභිමුව ඇත්තේ තේරීමකි.. ආත්ම අභිමානය,ජීවීතය හෝ රටය. මහත්මාගෙන් තොර ඉන්දීය දේශපාලනය වඩා ප්‍රායෝගික වනු ඇත්තේය. පාකිස්ථාන ආක්‍රමණය හමුවේ එය වඩා ශක්තිමත්ව නැගී සිටිනු ඇත. මාගේ අනාගතය ඝාතනයත් සමග අඳුරු වී යනු  නියතය.එහෙත් භාරතය වඩා නිවහල්ව නැගී සිටිනු ඇත. එය සිවිල් සමාජයෙන් මා ලබන අපවාදය හා දඩුවම සලකන කල නොසැලකිය යුත්තකි''

''ජනවාරි 30 වෙනි දින මා මහත්මා වාසය කල බිර්ලා බවන් වෙත පිය නැගුවෙමි. වේලාව දහවල් 1200 ය. මහත්මා එලියේ හිරුරස්නය විදමින් විවේකයෙන් සිටියේ ය. කුඩා කෙල්ලක් ඔහු පාමුල වාඩී  චී සිටියා ය. මට ඔහුව පහසුවෙන්ම ඝාතනය කිරීමට තිබුනි. නමුත් නිසි සාක්ශිකාරයෙක් නොවීය. ඝාතනය සිදු කල යුත්තේ ඇයි දැයි අංශු මාත්‍රයකදු සැකයක් මා හද තුල නොතිබිනි. ඒ නිසාම මා හට නිතියේ දෑත් වලින් ගැලවී යාමට අවශ්‍යතාවයක් නොතිබුනි. මම ඝාතනය සවස් වරුව වන තෙක් කල් දැමුවෙමි. සවස පුජාවට වඩා වැඩි සෙනගක් බවනට එකතු වනු ඇත''.

''සවස් වරුව උදා විය.සැලකිය යුතු තරම් සෙනගක් සවස් පුජාවට එකතු වී සිටියෝ ය.මහත්මා කුඩා කෙල්ලන් දෙදෙනෙකුගේ උදව්වෙන් පඩි පෙල බසිමින් සිටියේ ය.මට අවශ්‍ය වූයේ තත්පර කිපයක් පමණි.මම මහත්මා ඉදිරියේ සිටගෙන සිටියෙමි.මට ඔහුට වැදීමට අවශ්‍ය විය. ඔහු ජාතිය වෙනුවෙන් යම් කැපවීමක්, සේවයක් කර තිබුනි නම් ඒ වෙනුවෙන් ඔහුට අචාර කිරීමට මට අවශ්‍ය විය. එහෙත් කෙල්ලක් භායනක ලෙස මහත්මාට සමීපව සිටියා ය. මට ඇයට අනතුරක් කිරීමට අවශ්‍ය නොවීය. මා අඩියක් ඉදිරියට තබා මහත්මා හට වැන්දෙමි. ඊලග තත්පරයේදී එක අතකින් මම කුඩා කෙල්ලව අහකට තල්ලු කෙරුවෙමි. ඊලට නිමේශයේදී මාගේ රිවෝල්වරය ක්‍රියාත්මක විය. මහත්මා ගේ ශරීරය ඉතා දුර්වලය. ඔහුගේ නිසල දේහය බිම පතිත විය''


''මාගේ කාර්‍ය නිමා විය. රිවෝල්වරයත් සමග ඉහලට එසවුනු මගේ දැත් සමග 'පොලිස්, පොලිස්' කියා මා හඩ තැලුවෙමි. කිසිවකු මට ලංවීමට එඩිතර නොවීය. මාගේ දැස් සෙනග සිසාරා ගොස් පොලිස් භටයෙක් ඉදියේ නැවතුනේය. මා ඔහුට ඉදිරියට විත් මා අත් අඩංගුවට ගන්නා ලෙස සන් කලෙමි. ඔහු ඉදිරියට පැමිණ මගේ අතෙන් අල්ලා ගත්තේය. ඊලාග මොහොතේ දෙවැන්නකු පැමිණ මගෙන් රිවෝල්වරය මුදවා ගත්තේය...''



ඔහුගේ දීර්ඝ පාපොච්චාරණ නිම වන විට උසාවිය ගල් ගැසුනාක් මෙන් විය.ගැඹුරු නිශ්ශබ්දතාවය ප්‍රශ්න කලේ ‍රැස්ව සිටියවුන්ගේ හදවතයි. ගැහැනුන්ගේ දෑස් කඳුලින් තෙත්ව යද්දී, මිනිසුන් තමන්ගේ දැසට පෙගෙන කඳුලු සගවා ගත්තේ බිමට බර වූ මුහුණු තමන්ගේ ලෙහෙන්සුවට ලං ව යද්දීය. ගැඹුරු නිසලතාවය බිදුනේ වරින් වර යාන්තමින් නැගුනු හුස්ම ඇදීමකින් හෝ හැගීම සගවා ගැනීමට කල ව්‍යාජ් කැස්සකින්ය. මෙය හොලිවුඩයේ හෝ බොලිවුඩයේ චිත්‍රපටියක දසුනක් නෝවීය. මහපොලෙවේ සැබවින් ම එය එසේ සිදුවිය. මහත්මා ඝාතකයා තම හදවත, වචන වලින් එසේ ප්‍රතිනිර්මාණය කලේය.

http://ts3.mm.bing.net/th?id=H.4574939847263422&pid=15.1&H=160&W=160

නාතුරාම් ගෝඩ්සේ..ඔහු ප්‍රශ්න කරන්නේ පශ්චාත් භාරතීය නිදහස් අවකාශය තුල මහත්මා ගාන්ධිගේ දේශපාලන භූමිකාවයි...අවිහිංසාවාදය, සත්‍යග්‍රහය ඔහු යොදා ගත්තේ නිදහස් භාරතය බිය ගැන්වීමට ද?
කොන්ග්‍රස් ආන්ඩුව නිරුත්තරය..ගෝඩ්සේගේ මරණ තීන්දුවත් සමග ඔහු හා බැදුනු සියලු ලිපි ලේඛන ඉන්දෛයාව තුල තහනම් වන්නේය...ඒ නොවිසිදනු ලැබු ප්‍රශ්ණයක් වෙනුවෙනි...එහෙත් ගොඩ්සේගේ අවසාන ඉල්ලීම තවත් පරපුරකට භාර වීම නියමිතය...නොබෙදුනු භාරතයක ගලා යන් ඉන්දු ගංගාවේ තම අළු පා කල යැවීම ඔහුගේ අවසාන ඉල්ලීමයි.

Thursday 29 November 2012

උසාවියක් නිහඩ කල ඝාතකයා :මේ ඔහුගේ කථාවයි -1



'එදා උසාවියේ   ඔහුගේ ප්‍රකාශයට සවන් දුන් මිනිසුන් ජූරියක් කොට ඔවුනට ඔහුගේ ඉරණම තීරනය කිරීමට අවස්ථාව දුන්නේ නම් අද ඔහු නිදහස් මිනිසෙක් ලෙස උසාවියෙන් පිට වී යනු ඇත්තේය.'

මේ කියැවෙන්නේ නාතුරාම් ගෝඩ්සේ ගැන ය. නාතුරාම් ගෝඩ්සේ යනු නූතන අවිහිංසාවාදයේ පියා, ශ්‍රේෂ්ඨ මහත්මා ගාන්ධි ඝාතකයා ය.  ඉහත ප්‍රකාශයේ අයිතිකරුවා, විනිසුරුවරයා, එදා නාතුරාම් ගොඩ්සේ හට මරණීය දණ්ඩනය නියම කල විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙක් විය.

සත්‍යය පුදුම සහගතය. ඇතැමෙකුට හින්දු අන්තවාදීයෙක් උනු, තවත් අයෙකුට පිස්සෙකු උනු , නේතුරාම් ගෝඩ්සේ, විනිසුරුගේ මනෝමය අතාත්වික ජූරිය ඉදිරියේ නිවැරදිකරු වීමට නියමිතව තිබුනි.

එදින 1948 හි මුල මාසයේ අවසන් සතියට අයත් සුන්දර උදැසනක් විය. එහෙත් ඒ සුන්දරත්වය මොහොතකින් අවසන් වීමට නියමිතව තිබිනි. නාතුරාම් ගොඩ්සේ,  මහත්මා ඉදිරියේ සිටගෙන සිටියේය.  ගොඩ්සේගේ අර්ධ ස්වයංක්‍රීය පිස්තොලයෙන් නිකුත් උනු වෙඩි උණ්ඩ තෙවතාවක් මහත්මාගේ නිර්මල හදවත පසාරු කර ගියේය. එය එසේ වීමට නියමිතව තිබුනි.එසේ දහසක් නෙත් මධ්‍යයේ මහත්මා අවසන් සුසුම් පොද හෙලන්නට නියමිත විය. දහස් ගණනක සාක්ශි ඉදිරියේ සිදු වූ අමු මිනිස් ඝාතනයක වැරදිකරුවා,  නිවැරදිකරු ලෙසින් උසාවියෙන් පිට වී යනු ඇතැයි විනිසුරු ප්‍රකාශ කරන්නේ කෙසේ ද?.

                                                              http://indiandefenceboard.com/threads/image-of-godse-shooting-gandhi.877/

ඝාතනයෙන් පසු ගොඩ්සේ පැන දිව්වේ නැත. ඔහු තමා වෙඩි තැබු මිනිසා ඉදිරියේ සිටගෙන සිටියේ ය. ඔහුගේ යටත් වීම කලබලයෙන් තොරය. ඔහු නිවැරදිකරු කරන්නේ මේ නිර්භීතකමද?. මෙය නීරභීතකමක් යයි කිව හැකිද?

ගාන්ධිතුමන්ගේ සිවිල් බලය  ඉන්දීය ජන සමාජයට පමනක්  සීමා නොවුනේය. එය හිරු නොබසින අධිරාජ්‍යයයේ ආත්මය දෙදරවන තරම් බලයක් ය. එවන් ආකර්ශනයක් තිබු පුද්ගලයකුගේ ඝාතකයා මෙසේ නිවැරදිකරුවා වීමට ඉඩ තිබුනේ යැයි කියන්නේ කෙසේ ද? මෙය දේශපාලනය ද?

නැත. මහත්මා ගාන්ධි ඝාතකයා, නාතුරාම් ගෝඩ්සේ, තම ජීවිතය 'ඝාතනය' වෙනුවෙන් කැපකලේ ඔහු විශ්වාස කල සත්‍යක් වෙනුවෙනි. සත්‍යය එතරම්  ප්‍රභලය. මලමිණී දහස් ගණනක් අතරින් උව, කාලය අවුරුදු දශක වලින් ගත   වුව, සත්‍යය එතරම් ප්‍රභලය. ඔහු මියගියේ ඔහු විශ්වාස කල සත්‍යක් වෙනුවෙනි. ඒ සත්‍ය බහුතරයේ සත්‍ය නොවුයේ ය. ඒ සත්‍ය සදාකාලික නිරපේක්ශ සත්‍ය නොවීය. එහෙත් එය ඔහු හදවතින් පිලිගත්, ආත්මය හා බැදුනු ආත්මීය ප්‍රකාශනය විය. එදා  උසාවිය නිහඩ කලේ එම ආත්ම පරිත්‍යාගයයි.

නාතුරාම් ගෝඩ්සේ, මහත්මා ගාන්ධි ඝාතකයා, මේ ලියැවෙන්නේ ඔහුගේ කථාවයි.............

ඉතිරි කොටසට........




Saturday 24 November 2012

ගාසා වලට නෙලීම හෙවත් තෙල් ආයුධ හුවමාරුව. - ඒක විෂම චක්‍රයක්


සාර්ථක සැමියෙක් වීමේ මයියා ගේ රහස තමයි ගේ දොර ප්‍රශ්ණ වලදී එන 'පොඩි පොඩි' ප්‍රශ්ණ විසදීම සහ තීරණ ගැනීම, මයියා ගේ ප්‍රිය භාර්‍යාවට නැතිනම්' මයිලේඩි' ට භාර දීම. ඒකට කොරන ප්‍රතිඋපකාරයක් වශයෙන් මයිලේඩී ත් 'ලොකු ලොකු' ප්‍රශ්ණ විසදීමේ අයිතිය මයියා ට පවරා තියෙනවා. ' ලොකු ලොකු'  ප්‍රශ්ණ විසදීම යටතේ මයියාගේ විෂය පථයට අයත් වෙන එක විෂයක් වන්නේ 'අන්තර් ජාතික දේශපාලනය හා විචාරයයි'. මේ සංකල්පය යටතේ, පසුගිය ඇමෙරිකානු මැතිවරණයේදී ඕබාමා හා රොම්නිගෙ න් කවුරුන් දිනයිද යන 'මයිපවුලේ' සාමුහික තීරණය මයියා විසින් නිගමනය කෙරුනු අතර, අමෙරිකාණු මැතිවරණය හා 20 -20 බැලීමට ගන්ත ටීවී කනෙක්ශන් එක 'ඩයලොග්' ද 'පියො ටීවී' ද යන සුලු තීරණය මයිලේඩී විසින් ගනු ලැබුවා.

පර ඊශ්‍රායල් හැත්ත විසින් පලස්තීනයේ ගාසා තීරයට මිසයිල ගැසීමත් සමග නැවත වරක් 'අන්තර්ජාතික දේශපාලනය හා විචාරය' යටතේ මයියා ට අයත් විෂයපථයක් යටතේ 'මයි-අදහස' දැක්වීමේ අවස්ථාවක් මයියාට හිමි වී තිබෙනවා.

ඒ අනුව මේ සම්භන්දයෙන් මයියාගේ මතය වන්නේ මෙය හුදෙක් දේව කැමත්ත මත සිදුවන,  චක්‍රීය ක්‍රියාවලියක් බවය. මේ නිසා අද සිංහල බ්ලොග් අවකාශයේ ඇතැමුන් කරනවාක් මෙන් පින්තූර දමාවත්, ලියුම් ලිවීමත් හුදෙක් වැරදි අවබෝධයක් මත සිදු කෙරෙන්නෙන්කි :) . අපට ඇත්තේ බලා සිටීම පමනෙකි. දෙවියන් වහන්සේ ජය ගනු ඇත්තේය.




ඊශ්‍රයාල් කාරයන්ගේ ලොකුම  ආදායම අවි ආයුධ වෙලදාමය. ඊශ්‍රායල් කාරයන්ගේ පමනක් නොව ඇමෙරිකාවේ ධනවත් යුදෙව්වෙන්ගේද මේන් බිස්නස් එක ආයුධ වෙලදාමය. ආයුධ හැදුවාට වැදගත් නැත. ඒවා විකුණා ගත  යුතුය. හදන ආයුධ ඇමෙරිකාවේ විකිනුවාමත් හරි මදිය. එතකොට ශ්‍රේෂඨ ඇමරිකන්කාරයෝ එකිනෙකා මරා ගන්නේය.  හොදම විසදුම මැස්සන් මෙන් මිනිසුන් බෝ වෙන මැද පෙරදිග හා ආසියාවය. උන්ට ආයුධ විකුණුවාම , උන් ට්‍රයි කොරලා, කොරලා කොහොම හරි මිසලක් දෙකක් ඊශ්‍රායලට ගසන්නෝය. ඉන් ඊශ්‍රායල් කාරයෝ එකෙක් දෙන්නෙක් ද ස්වර්ගස්ථ වෙන්නෝය. ඒ මැරෙන එකා දෙන්නටත් එක්ක,' පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරු - එක පුන් සදෙන් දුරු වෙයි ලොව ගන අදුරු' කියලා  පලස්තීනකාරයෝ 100ක් විතර බාවනවාය. ඒ අතර පොඩි පිපෙන්නට වෙර දරන පොඩි ලමුන් සිටිනවාය.  ඒතකොට පලස්තීන කාරයන්ට තවත් මල පනිනවාය. මල පැනලා, පැනලා බැරිම තැන ගල් කැටයක් හරි ඊශ්‍රායල් පැත්තට විසි කරනවාය. ඒ පිටින් දමා තව 20-30 ස්වර්ගස්ත කරනවාය. ආයුධ විකුනා ගැනීමේ ප්‍රශ්ණයද විසදෙනවාය. පලස්තීන ව්‍යාප්තියද නැවතෙනවාය . ඒක් පුල් දෝමාලි කියන්නේ ඒකටය.එක ගලට කුරුල්ලොම දෙන්නෙක්ය.

මැදපෙරදිග හැම තැනම තෙල් නෑය. ඒක නිසා ඊශ්‍රායලයට ද තෙල් නැත්තේය. ඒ නිසා ඒගොල්ලො ඈමරිකාවෙන් තෙල් ගන්නේය. ඇමරිකාව තෙල් හැදුවාට ඒ ගොල්ලන්ටද තෙල් මදිය. ඒ නිසා ඇමෙරිකාව ඒගොල්ලන්ගේ යාළු චාවෙස්ගෙන් මෙන්ම සෞදි, ඉරාක තෙල් ද ගන්නේය. අවසානෙදී  කවුරු කවුරුත් තෙල් ගන්නේ මැද පෙරදිගිනි. ඔපෙක් කාරයෝ නිකන් තෙල් දෙන්නේ නැතිය. ඒවාට ඩොලර් කොල ද විසි කල යුතුය.ඩොලර් හම්බ කරන්නේ ආයුධ විකුනලාය. ඒ ආයුධ විකුණනේද මැද පෙරදිගටය. මැරෙන්නෙද උන්මය. අනිත්මට තෙල් ටිකද නැත්තේය. ඩොලර්යි තෙලුයි දෙකම නවතින්නේ ඊශ්‍රායලයේ ය.

'තෙල් - ආයුධ-ඩොලර්- මිනිස් ඔලු' චක්‍රයකි. යුදෙව්වන් ලග චක්‍රිය චින්තනය නෑලු. එගොල්ලෝ දන්නේ රේඛීය චින්තනයලු. ඒ උනාට ප්‍රශ්ණය චක්‍රීයලු. විසදුම ඇත්තේ චක්‍රීය චින්තනයේය් ලු.

'වෛරයෙන්  වෛරය නොසන්සිදේ' චක්‍රීය සංකල්පයක්ලු. එහෙත් වැඩ සිද්ද වෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තටලු. දෙවියන් සමග එකතු වීමට කැමැත්තො ඒ සදහා ආගම නාමයෙන් ස්වර්ගස්ථ කෙරෙනවලු, ඒතුමන්ගේ ‍තෝරා ගත් පිරිස උන යුදෙව්වන් ලගට, පැවැත්ම පිනිස ඕනා කරන තෙල් ටිකයි, සල්ලි ටිකයි ලැබෙනවලු. මේක දේව කැමැත්තලු.ඒ හින්දා අපට බලා ගෙන ඉන්නලු. ඒ නිසා අපි බලා ගෙන ඉන්නවා ලු. ඊට වඩා කෙංකෙඩියක් කොරන්නට අපටද බැරිය. හෙනහුරාදා ලැබුනු පොඩි නිවාඩුවෙන් පොඩ්ඩක් ජාල ගත උනා පමණය.කාලකණ්නි ආතල් එකක් නොවේමය.


 ප: ලි  : ගසා තීරයට නෙලීම ගැන ලියන්න හිතුනේ මයියා බුවාගේ පොස්ට් එකට කොටන්න ගිය කමෙන්‍ටුවකින්ය. ඒ නිසාම බුවා වෙනුවෙන් මයියාගෙන් විශේෂ ස්තූතියක් පිරි නැමේ..

Tuesday 20 November 2012

'මහායානයද? ථේරවාදයද?...........දෙවෙනි ලිපිය.

                                               source : http://dhammabum.wordpress.com/2010/06/22/great-graphic/


 මෙහි පලමු ලිපියට මෙතැනින් යන්න

මෙම බ්ලොග් අඩවිය බෞද්ධ දර්ශනය පිලිබදව කීප අවස්ථාවක් කථා කර තිබෙනවා. ඉන් 'මහායානයද? ථේරවාදයද? නැත්නම් මුකුත්ම නැත්?ද ' යන ලිපිය වඩා අවධානයට යොමු වූ ලිපියක්.එය මහායාන හා ථේරවාද සම්ප්‍රධායන් අතර මූලික සිද්ධාන්ත වෙනස ඉතා සරලව තේරුම් කර ගැනීමට ගත් වෑයමක්. එය ලැබු ප්‍රතිචාර අතරින් බොහොමයක්, ධනාත්මක හෝ සෘණාත්මක වේවා,  එවායෙහි ගුණාත්මක වටිනාකම ඉහල බව මෙම ලේඛකයා විශ්වාස කරනවා.

මෙම සංවාදයේදී මතු වූ එක් කාරණාවක්  වූයේ වඩා නිවැරදි වන්නේ මහායානය ද නැතිනම් ථේරවාදය ද යන්නයි. මෙය කෙස් පැලෙන තර්ක ගෙන ආ යුතු මහා ලොකු ප්‍රශ්නයක් ලෙස මෙම ලේඛකයාට හැගී යන්නේ නෑ.එසේ නමුත් තමන් විශ්වාස කරන දේ පමනක් සත්‍ය ලෙස ගන්නා ගෝත්‍රවාදීයෙකු හට නම් මෙය, කිසියම් ආකාරයක, අභියෝගයක්....

කෙසේ නමුත් මතු කෙරුනු කාරණයට එනම් ප්‍රශ්ණයට උත්තර දීමට පෙර ප්‍රශ්ණයේ සීමා මායිම් පලමුව ලකුනු කල යුතුව තිබෙනවා. ගෞතම බුද්ධ දර්ශනයේ න්‍යෂ්ටියට අත නොතබා, පරිධියේ පවතින, ඒ ඒ පුද්ගලයාගේ බුද්ධි මට්ටම් හා බැදුනු විවිද වත් පිලිවෙත් හා ඇදහීම ක්‍රම,  පුහු පණ්ඩිතමානයෙන් විවේචනය කරන්නවුන් බ්ලොග් අවකාශයේ අඩුවක් නෑ.  එම නිසා ථේරවාදය ද ,  මහායානයද යන  ප්‍රශ්ණයේදී  මෙහි සැලකෙන්නේ, ඒ ඒ සම්ප්‍රධායේ සෛධාන්තික වෙනස මිස, ඒවා හා බැදුනු හෝ පසු කාලීනව ඊට එකතු වුනු  විවිද ඇදහිලි ක්‍රම, වත් පිලිවෙත් ආදිය නොවන බව සැලකිය යුතු වෙනවා. මෙම බොහෝ වත් පිලිවෙත් හෝ ඇදහිලි ක්‍රමයන් හී මූලාරම්භයන්, ඒ ඒ සමාජ හා බැදුනු ජනප්‍රිය විශ්වාස හෝ මිත්‍යාමත පදනම් වෙන බැවින් ඒවා මත පදනම්ව මෙම ශ්‍රේෂ්ඨ සම්ප්‍රදායන් යුගලයේ බර සසැදීම අනුවණ ක්‍රියාවක්. එය  කැලණි ගඟ මුහුදට වැටෙන තැනෙන් වතුර බීලා, ගග පටන් ගත්ත තැනේ වතුර වල ගුණ දොස් සොයන ආකාරයේ බොලද උත්සහයක්.

මීට පෙර ලිපියෙන් සාකච්චා කල අකාරයටම මෙම සම්ප්‍රධායන් දෙකෙහි මූලික සෛධාන්තික වෙනස 'අනාත්ම' තාවය මත පිහිටා තියෙනවා. මුල් ලිපියේදී මෙම අනාත්මවාදය සම්භන්ධ ගැටළුව, හරබර වචන වලින් තොරව, ඉතා සරලව ඉදිරිපත් කිරීමට මෙම ලේඛකයා අවංක උත්සහයක් දරා තිබුනා.නමුත් ඇත්ත වශයෙන්ම එය ඊට මදක් සංකීර්ණයි. කෙසේ නමුත්, සාරංශ වශයෙන් ගත් කල,  ථේරවාදයේදී 'අනාත්මතාවය',  පරමාර්ථ ධර්මයක් ලෙස සැලකෙන රූප පරමාර්ථයට යොමු වන අතර , මහායානයේදී එය 'ශුන්‍යතාව' දෙසට දිශාමුඛ වෙනවා.

මේ න්‍යායාත්මක කරුණ පසෙකින් තිබියදී,  භාරතයේදී භික්ශූන් නිකාය වශයෙන් බෙදී යෑමට හේතු වූ තවත් කරුණක් ද පවතිනවා. ඒ පලමු ධර්ම සංගායනාවේදී ඇති වූ සිද්ධියක්. බුද්ධ දේශනාවට අනුව සංඝයාවහන්සේ හට අවශ්‍යනම් තමන් වහන්සේ දේශනා කරන ලද සුළු විනය නීතීන් නොසලකා හැරිය හැකිව තිබුනා. නමුත් ප්‍රථම ධර්ම සංගායනාවේදී මෙම  සුළු විනය නීතීන් යනු මොනවාදැයි ගැටලුවක් පැන නැගුනා.  සුළු විනය නීතීන් යනු මොනවාදැයි නිවැරදිව පැහැදිලි කර නොගැනීම සම්භන්දයෙන් ආනන්ද රහතන් වහන්සේට චෝදනා කල ඇති බවක්ද පොත පතෙහි සදහන් වෙනවා. කෙසේ නමුත්  මහා කාශ්‍යප රහතන් වහන්සේ ප්‍රමුඛ ප්‍රථම ධර්ම සංගායනාවේදී, බුදුරදුන් වදාල කිසිම විනය නීතියක් කිසිදු ලෙසකින් අත නොහැරීමට හෝ වෙනසක් නොකිරීමට තීරණය කෙරුනා. මෙම තීරණය පසු කාලයේදී 'මහා සාංඝික' හා 'ථේරවාද' ලෙස බෙදීමක් ඇති කීරීමට තරම් ප්‍රබල උනා. 'මහාසාංඝික' යනු මහායාන ලෙස පසුව වර්ධනය උන විවිධ නිකායන් ( මධ්‍යාමික, යෝගාකාර, සෙන්, ත්‍රන්ත්‍ර ආදී) සමූහයක මූලාරම්භයයි. මීට සියවස් ගානකට පසු  'මිලින්ද-නාගසේන' හමුවේද කාරණය ප්‍රශ්ණයක් ලෙස ඉදිරිපත් කෙරෙනවා.

                                              : http://www.docstoc.com/docs/26322723/Differences-Between-Theravada-and-Mahayana-Buddhism

තමන් වහන්සේ දෙසූ 'ධර්මය හා විනය',  තම පරිනිර්වාණයෙන් අනතුරුව මූලික වන බව බුදුරදුන් දේශනා කලා. ඒ නිසාම "මහායානයද? ථේරවාදයද?" යන සෛධාන්තික ගැටලුව තේරුම් ගැනීමටද 'ධර්මය හා විනය' යන මිනුම් දණ්ඩ යොදා ගැනීම සාධාරණ කාරණයක්. එසේ ගත් කල ඊලග ගැටලුව වන්නේ 'ධර්මය' ලෙස ගත යුත්තේ කුමක්ද යන්න ය.  අන්තවාදී වූ ථේරවාදීයෙක් 'ධර්මය' යනු ථේරවාදය ලෙසත්, ප‍ටු කල්පනා ඇති මහායානවාදීයෙක්, 'ධර්මය' මහායානයත් සලකතොත් පුදුම නොවිය යුතුය.එහෙත් සත්‍යය ඊට වෙනස් ය. බුද්ධ දේශනය එයට පිලිතුරු සපයා තියෙනවා.

වරෙක, බුදුරදුන් ගේ සුළු මව වු මහා ප්‍රජාපතියන් විමසූවේ....'ධර්මය' හා 'ධර්මය නොවන දේ' හදුනා ගන්නේ කෙසේද යන්නයි. බුදුන් වහන්සේ සෘජුව පිලිතුරු දී තිබෙනවා.
'ආශාව', ක්‍රෝධය' හා 'මිත්‍යාව' සමනය කෙරෙන දේ ධර්මය ලෙසත් එවැන්නක් දෙසට  යොමු නොවෙන්නක් 'ධර්මය නොවෙන දේ' ලෙසත් සැලකිය  යුතු බව උන්වහන්සේගේ පිලිතුර යි.

මේ හා බැදුනු අනිත් ධර්ම කාරණය, ප්‍රචලිත හා ජනප්‍රිය කාලාම සූත්‍රයේ දැක්වෙනවා. එහිදී බුදුරදුන් දේශනා කර සිටින්නේ ' යමකු කිසිවක් කී පමණින්, සම්ප්‍රදාය වූ පමණින්, ශුද්ධ වූ ලියැවිල්ලක්  වු පමනින් එසේත් නැතහොත් තර්කයට ගෝචර වූ පමනින් හෝ ගුරුවරයා (?) කී පමනින් සත්‍ය ලෙස නොසැලකිය යුතු බවයි.' ඒ වෙනුවට බුදුරදුන් දේශනා කරනු ලබන්නේ  විභජ්‍යවාදයයි. එනම් යමක් තේරුම් ගත යුත්තේ තම තමන්ගේ අත්දැකීම, හේතුව  හා ඵලය බැදුනු තර්කය මත පදනම්ව බවයි.

බුද්ධ දර්ශනයේදී යමෙක් බලාපොරොත්තු වන්නේ 'අනිත්‍ය', 'දුක්ඛ' හා 'අනාත්ම' යන ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීමයි.

මෙයින් ' අනාත්ම' තාවය යනු බුදු දහමේ පමණක් දැක්වෙන , එය අනෙකුත් ආගම් හා දර්ශනයන්ගේන් වෙන් කර දැක්වෙන, ප්‍රබල සංකල්පයක්.මෙය එක අතකට සංකල්පයක් නොව , නිසැකවම සංකල්පීයමය තත්වය අභිබවා යන්නක්. 'දුක' හා 'අනිත්‍ය' සම්බන්ද කාරණා බුද්ධ දර්ශනය හා සමකාලීන වෙනත් ශ්‍රාස්තෲවරුන් ද, ලෝකයේ වෙනත් ආගම් ද  කථා කර ඇති මුත් 'අනාත්ම' තාවය බුද්ධ දර්ශනයට පමණක් ආවේණික වන්නක්.ථේරවාද හා මහායාන යන සම්ප්‍රධායන් දෙකම මෙම 'අනාත්ම' තාවය පිලිගන්නා අතර එය අවබෝධ කර ගැනීම සදහා ඒ දෙසට යොමු වී ඇත්තක්. එම නිසාම මෙ සම්ප්‍රධායන් අතරින් වඩා නිවැරදි දේ කුමක්දැයි සෙවීම පසෙක තිබියදී , මේ සම්ප්‍රධායන් දෙකම පිලිගන්නා, එසේම ඒ දෙසට යොමු කෙරෙන 'අනාත්ම' තාවය වටහා ගැනීම වඩා වැදගත් බව මේ ලේඛකාය විශ්වාස කරනවා.

කෙසේ නමුත්  මහායානික හා ථේරවාද සම්ප්‍රධායන් ගත් කල  ' ධර්මය'  යොදා ගන්නා ආකාරයේ සියුම් ප්‍රවේශනාත්මක වෙනසක් තිබෙනවා.

මහායානික සම්ප්‍රදායේදී ධර්මය සලකනුයේ හුදෙක් 'මෙවලමක්' (Instrumental value) ආකාරයෙනි.  උදාහරණයක් ලෙස ගත්හොත් වර්ථමානයේ ඇතැම් අය 'කඩ්ඩ' පාවිච්චි කරන්නේ අන් අයගෙන් තමා වෙනස් බව හෝ උසස් බව දැක්වීම උදෙසාය. මෙවන් අයට ඇත්තෙන්ම 'කඩ්ඩ' යනු හුදෙක් ආභරණයක් පමනෙකි. එහෙත් තවත් අයෙක් 'කඩ්ඩ' පාවිච්චි කරන්නේ ලෝකය හා නව දැනුම සමග සම්භන්ද වීමටය. ඉන් ප්‍රයෝජනයක් ගැනීම සදහාය. මෙවන් අයෙකුට 'කඩ්ඩ' යනු හුදෙක් ආභරණයක් නොව 'මෙවලාත්මක' වටිනාකමක් ය.

ධර්මය ද 'මෙවලාත්මක' ලෙස පාවිච්චි කිරීමේදී එය පාවිච්චි කරන පුද්ගලයාගේ මනසට හා අවබෝධ කිරීමට උත්සහ ගන්නා සත්‍යට අනුරූප සාපෙක්ශ වටිනාකමක් ලැබෙන බවක් හැඟී යනවා.  ඒ අනුව අතීත මහායානික ශාස්තෲවරුන්  ත්‍රිපිඨකයේ සදහන් ඇතැම් ධර්ම කරුනු  වඩ වඩා විශ්ලේශනය කොට නව අරුත් සැපයීමට උත්සහ ගෙන තිබෙනවා.  ඒ කුමන උත්සහයක් උවද 'අනිත්‍ය', 'දුක්ඛ' හා 'ආනාත්ම' යන සංකල්ප අභිබවා යාමක් හෝ  ප්‍රතික්ශේප කිරීමක් එමගින් සිදු වී නෑ. ඇත්තෙන්ම සිදු වී ඇත්තේ බුදුදහමේ සදහන් 'අනාත්ම' තාවය වඩ වඩා විශ්ලේශනය කර 'ශූන්‍යතාවය' නැමැති සංකල්පය වඩා ඉස්මතු කර දැක්වීමයි. මහායානයේ දැක්වෙන'ශූන්‍යතා' සංකල්පය තර්කයක් වශයෙන් ප්‍රතික්ශේප වී ඇති අවස්ථාවක් මේ ලේඛකයාට නම් තවම සමු වී නෑ. කෙසේ නමුදු 'ශුන්‍යතාවය' පිලිගත්ත ද නැතද එය බුදු දහමේ මූලීක පදනම් වලට කිසිදු අකාරයේ බලපෑමක් ඇත්තේත් නෑ. එය විශ්වාසයන් අතර නැතහොත් ශ්‍රද්ධාව පිලිබද ගැටලුවක් විතරය.

මහායානිකයන් කර ඇති ආකාරයේ ධර්ම විශ්ලේශණයකට බුදුරදුන් කිසි විටක බදා පමුණුවා නෑ. බුදුරදුන් වරක දේශනා කලේ තම 'ධර්මය' පාවිච්චි කල යුත්තේ 'පාරුවක්' ලෙස බවය. ගගෙන් එගොඩ වීමට පාරුව උපයෝගී කර ගනු විනා පාරුව කර තබා ගෙන යාමක් උන්වහන්සේ අපේක්ශා නොකල බව ඉන් පැහැදිලිය.  තවත් විටෙක උන් වහන්සේ දේශනා කලේ 'ධර්මය' යනු කපන්න කපන්න දිදුලන මැණිකක් මෙන් කියා ය. මෙය තමන්වහන්සේ දෙසූ 'ධර්මය' වඩ වඩා විශ්ලේශණයකිරීමට කරන ඇරයුමක් නොවේද?

සැබෑ සැපත සොයා යන ගමනේ, තමන්ගේ ගැලවුම්කාරයා තමන් ම බව බුදුරදුන් සෑම විටම දේශනා කර තිබෙනවා. ' ධර්මය' හුදෙක් එහි ආධාරකයක් පමනක් බව එතුමා දේශනා කර තිබෙනවා. ආනන්ද තෙරුන් අමතා බුදුරදුන් 'ධර්මය' උපමා කරන්නේ 'දූපතක් 'ලෙස ය.

කෙසේ නමුත් ථේරවාද සම්ප්‍රධායේදී 'ධර්මය', ප්‍රථම ධර්ම සංඝායනාවේදී තහවුරු ආකාරයට ,ඒ අයුරින්ම පවත්වා ගෙන යෑම සදහා වැඩි වෙහෙසක් ගන්නා ආකාරය දක්නට ලැබෙනවා.

                                                          source : http://spiritrambler.blogspot.com/2011/03/seeing-is-not-believing.html


ලිපිය අවසාන කිරීම සදහා අවසාන වශයෙන් සදහන් කල යුත්තේ මහායාන වේවා, ථේරවාද වේවා, මෙම සම්ප්‍රධායන් දෙකම ගෞතම බුදුරදුන් ලෝකයා වෙත මහා කරුණාවෙන් දේශනය කරන ලද , 'අනිත්‍ය', 'දුක්ඛ' හා 'අනාත්ම' යන ත්‍රිලක්ශනය අවබෝධ කරගැනීම සදහා උපකාරී වන බවය. එය සමාන කල හැක්කේ,' හද' පෙන්වන 'ඇඟිල්ලක්' ලෙසය. අප දැකිය යුත්තේ ඇඟිල්ල නොව හද ය. කුමන ඇඟිල්ලකින් උව ද හද පෙන්විය හැක. වඩා වැදගත් වන්නේ එය අතෙහි කිනම් ඇගිල්ලද යන්න නොව එම ඇඟිල්ල යොමු වී ඇති දිශාව පමනෙකි.





Thursday 25 October 2012

ජනරාල්ගෙ ' රූබිකොනය ' - Fonseka's Rubicon

නසරතයේ යේසුස්ගේ උපතට වසර 50ක් මෙපිටදී, එවකට රෝම හමුදාවේ ජනරාල්වරයෙක් පමණක් වූ,  ජුලියස් සීසර් රෝමයේ රුබිකොන් නදියෙන් මෙපිට රෝම පුරවරයට  තම හමුදා ලීගය මෙහෙයවීය. එය නැවත නොහැරෙන, ජයෙන් හෝ පරාජයෙන් ඉරණම විසදෙන, සොහොන් භූමියේ සටනක් වෙනුවෙන්ය. ජයග්‍රාහකයා, පරාජිතයාගේ මලමිණිය මතින් ඉතිහාසය ලිවීමට නියමිත විය.' රූබිකොනය ' හුදු  ගංගාවක් නොවීය. බලයේ සීමා ඉරද ආපසු නිවැරදි කල නොහැකි ජීවීතයත් , මරණයත් අතර තීරණයක තිරස්චීනය ද විය.

දෙවසරකට ඉහතදී , ජනරාල් කියා ලෝභ නැතුව කිව හැකි සරත් ෆොන්සේකාද තම ජීවීතයේ රූබිකෝනය ඉදිරියේ සිට ගෙන සිටියේ ය. මෙදා රූබිකොනය ඒදා මෙන් ගලා ගිය වතුරක් නොව, දේශපාලනය මකියාවෙල්ලිගෙන් නොව ඔහුගේ අප්පච්චිගෙන් ප්‍රගුණ කල මහින්දය. ‍තෝරා ගැනීමට නියමිතව තිබුනේ  ජනපතිවරණය හෝ ත‍ටු කපා නිර්මිත ත්‍රිවිද හමුදා නායක කමය. ඔහු රූබිකොනය තරණය කලේය. ඔහු ඉල්ලූයේ ජනපතිවරණයයි. "The Die has been caste " එසේ කීවේ සීසර්ය.





රුවල් නැව සුළගින් විනා හබලෙන් පැදවිය නොහැක්කකි. දුර්වලයා සුළග නැතැයි මැසිවිලි නගන්නේය.  ධනාත්මකවාදීයා සුළග එනතෙක් තම බලාපොරොත්තුව අත නොහරින්නේ ය.. එහෙත් යථාර්තවාදීයා සුළග හමන් දීශාවට තම රුවල සකසා ගන්නේ ය. එය  උපයොගීතාවාදයයි. වාසනාවකට හෝ අවාසනාවකට ජනරාල් මේ කිසිවකු ගණයෙහි නොවැටෙන්නේ ය. ඔහු මුරණ්ඩුය. මුරණ්ඩුකම හා බැදුනු ස්ව අභිමාන පුද්ගල කේන්ද්‍රවාදය යුද්ධයෙදී ඔහුව ජයග්‍රාහකයෙක් කලේය. එහෙත් දේශපාලනයේදී නම් එය ඔහුට තිලිණ කලේද, තිලිණ කරමින් සිටින්නේ ද පරාජයයි...එසේ උවද ඉතිහාසය ලියවෙන්නේ උඩුගං බලා පිහිනන්ගෙන් මිස,  සුලග එනු පිණිස රුවල සකසන උපයෝගිතාවාදින්ගෙන් නොවේය. 1994 දී පොතයි ගඩොලයි සුදු නෙළුමයි බවුතීස්ම කරන ලද , 2000 සිංහල අවුරුදු මාසයේ අලිමංකඩ නොනවතින ‍රැල්ලේන් නිමවීමට තිබූ යුධ පරාදය , 2010 දී විජයග්‍රහනයෙන්  කෙලවර වෙද්දී ලෙයින්, දහඩියෙන්, කදුලෙන් ප්‍රතිනිර්මානය උනේ මේ සත්‍යම නොවේද?..

ලංකාවේ කුණු ගද ගහන නන්නාත්තාර දේශපාලනයේ ගැලවුම්කාර මොසස්වරයා, සරත් ෆොන්සේකා ලෙස මේ ලියුමකරු කිසිවිටෙක අදහස් කරන්නේ නැත. නිල ඇදුම ලා ගෙන සිටිද්දීම , තම දියණිය බැලීමට යන මුවාවෙන් , ඇමරිකාවට ගොස්, ඇමෙරිකානු රාජ්‍ය දේපාර්තමේන්තුව් නිලධාරීන් සමග සාකච්චා කල දිනයේ සිටම මේ ලියුම්කරු ජනරාල්ගේ ගමන ඉව කලේය.මෙය සිදුවූයේ ජනරාල්වරයා තම ජීවිතය හා මරණය අතර රූබිකෝනය තරණය කිරීමටත් පෙරය. එහෙත් අනාගතය අවිනිශ්චිතය.

මහින්ද රාජපක්ශ යුගය ලංකාවේ සංවර්ධනයේ මැජික්කරුවාද, පිබිදෙන ආසියාවේ ලාංකික සලකුනද වෙන්නේය.එහෙත් ඔහු,  ඒ හා බැදුනු දූශණ වංචා මෙන්න නීතීය , අවනීතීය කිරීමේ  අසාධනීය වරදකරුද වන්නේය. එම දුර්වලකම අනාගත ශ්‍රී ලාංකික දේශපාලනයේ , දේශපාලනමය අවපීඩනයක් වීමට නිර්මිතය.එය කාලය පිලිබද ගැටලුවක් පමණි. සුලග හමනුයේ  අවපීඩනය දෙසටය. දස අතින් තුවාල උන වෘකයා, ජනරාල්වරයා,  නිවී යාමට  ආසන්න ගිණිපුළුගුවකි. මේ ගිණි  පුළුගුව මහා ගින්නක් වන්නේ, සම්භන්දන්,රනිල් වැනී සීතල වතුර ඉසීමෙන් නොව, දේශපාලන අවපීඩනයත් සමග හමා ඒමට නියමිත සිංහල ජාතිකත්ව සුලගත් සමගය. රජරට ආසනික් මාරයා, පී.බී ජයසුන්දරට එරෙහි යුද්ධය කියා පාන්නේ සුලග හමන දිශාවය. එය නිවී යාමට ආසන්න ගිනිපුලිගු මහා ගින්නක් කිරීමේ පරිවර්තනය හා බැදුනු කාලයේ  ප්‍රශ්ණයක් පමනි. එක ජාතියේ කුරුල්ලන් වසන්නේ එක අත්තේය.

එහෙත් මහින්ද ගැන අවතක්සේරු කල යුතු නැත. ඔහු කාලය මැනීමේ අතිසූරයෙකි. නියමිත සිරකාලය නිම කර , මැන්ඩේලා මෙන් එලියට බැසීමට නියමිතව සිටි ජනරාල්වරයා, විපක්ශය ඇන කොටා ගන්නා නියම කාලයේදී, නිකම්ම නිකං සරත් ෆොන්සේකා ලෙස එලියට දැම්මේ ය. රජුගේ දේශපාලන කල් මැනිමේ හැකියාව ඒතරම් සූරය. අද ජනරාල්වරයා අත්විදින්නේද එම හැකියාවේ ඔහුට අයත් පාඩමයි.

එහෙත් වෘකයා තවම මැරී නැත. සොහොන් බිමේ සටනට වැද සිටින වෘකයා හුදකලා වී ඇත. මරණයෙන් හෝ ජයග්‍රහනයෙන් එය නිමවනු ඇත. රූබිකෝනය තිරස්චීනය. නැවත හැරීමක් නැත. සුලග එනතෙක් නිවී යාමට ආසන්න ගිණි පුලිගුව සජීව විය යුතුය. අවසාන ගින්න දවා හකුලුවන්නේ අසාධාරනයේ, අවනීතියේ මහා ගල් කණු පමණක් නොව, සාධාරණයේ හා නීතීයේ නොපලන් බිජුවට බවද අවසානයේ සටහන් කරමි...........

Monday 30 April 2012

ගෑණු සෝක වෙද්දි... බෙදිල්ල ගැන කථා කරමු.......

ගණංකාරයෙක් වෙන මයියාට නම් බෙදිල්ල කියන්නේ ඉලංකම් අතර සෙල්ලමක්ය. ඒත් මේ කතා කරන බෙදිල්ල නම් ඉලක්කම් බෙදිල්ලක් නොවේය. මේ කථා කොරන්නේ වෙනත් බෙදිල්ලක් ගැනය.

ඉස්සර ඉස්කෝලේ යන කාලයේ ටීචර්ලා අපිව බෙදුවේ වැඩ පුලුවන් එවුනුයි, වැඩ බැරි එවුනුයි කියාය. වැඩ බැරි එවුන් කිව්වේ උන්ට හරියට එක තැනක ඉදගෙන පොතක් පතක් බලන්න බැරි නිසාය. ඒ ඇරෙන්න උන්ට අනිත් වැඩ හොදටම පුලුවන්ය. ඒ හින්දා වැඩ බැරි එවුන්ගේ දවස උනේ ඉස්කෝලේ බිග් මැච් දවස හරි, ස්පෝර්ට් මීට දවස ය. ඒදාට උන් ගෑනු ලමයින්ගේ ඉස්කෝලකට පැන තමන්ගේ වැඩ පෙන්වන්නේය.. වැඩ පුලුවන් එවුන් එහෙමත් නැත්නම් ඉගෙනගන්න එවුන්ගේ දවස උනේ විභාග ප්‍රතිපල එන දවසය. වැඩ පෙන්නපු එවුන් ෆුල් ජොලියේය.

තව ටිකක් ලොකු වී කැම්පස් යන කාලේ වෙන කොට ඒකේ ජේෂ්ඨ උත්ත්මයෝ අපිව බෙදුවේ කොලඹ එවුන් හා කොලඹ පිට කියලා ය. තවත් තැනක අලයෝ හා ගජයෝය. එහෙමත් නැත්නම් ජෙප්පො හෝ ස්වාධීන කියලාය. පොඩි කාලයේ වැඩ බැරි එවුන් හා වැඩ පුලුවන් එවුන් ගුටි කෙල ගන්නේ නැත. ඒත් කැම්පස් ගැට්ටට නම් ගුටි කෙල ගැනීමද අනිවාර්යය. එත්කොට ගැට්ටේ නිර්මානකරුවන් වෙන ජේස්ට උත්තමයන්ට මාර ආතල්ය. තමන් කඩේ යන පක්සෙට ලකුනු ටිකක් දා ගන්න එහෙමත් නැත්නම් අවසාන වසරේ විභාගෙට ස්ටඩි ලීව් එක ටිකක් දික් කර ගන්න මේ ගුටි කෙල ගැනීම ඉතා ප්‍රයෝජනවත්ය.

මූණ පුරා නත්තල් සීයාගේ වගේ ‍රැවුල තියෙන කාල් මාක්ස් මුත්තා ද සමාජය බෙදුවේය. ඒ බෙදිල්ලට කොටස් දෙකක් ය. එකෙකු ධනපති පංතිය වෙන කොට අනිකා නිර්ධන පංතියේ වෙන්නේය. නිර්ධන පංතිය කිව්වේ තමන්ගේ ශ්‍රමය විකුනා කන එවුන්ටය. ඒ ගොල්ලෝ වැඩ පෙන්වන්නේ අදය. කොල්ලෝ කියන්නේ ඒදාට ගෑණු සෝකෙන් මැලවී යනවා කියා ය. මොනා උනත් මයියා අයිති වන්නේ ධනපති පංතියට කඩේ යන කාණ්ඩයට ය. ඒ මයියා ශ්‍රමය වෙනුවට දැනුම විකුනන හින්දාය. දැනුම විකුණා සුදු කොලර් රස්සා කොරන උන් අවසානයේ සේවය කොරන්නේ ප්‍රාග්ධනය හින්දා උන් කඩේ යන්නේ ධනපති පංතියට ය.

ඒ හින්දා මයියා වෙන අය වගේ අද දිනයේ නිවාඩු ගන්නේ නැත. වෙනදාටත් වඩා මයියා අද වැඩ කොරන්නේය. එසේ වැඩ කොර අද දිනයේ (මැයි 01)උපයා ගන්නා නිවාඩුව වෙන දවසක ගන්නේය. ඒ නිවාඩුව ගන්නේ ද තවත් බෙදිල්ලකටය. ඒ බෙදිල්ල නම් බුදුහාමුදුරුවන්ගේ බෙදිල්ලය. එතුමාට අනුව බෙදිල්ල කොටස් හතරකටය. හික්ෂු, භික්ෂුණී, උපාසක,උපාසිකා යනු ඒවාය. ඒ අනුව මයියා උපාසකයෙකි. ඒ නිසා නිර්ධන පංතියට හිමි නිවාඩුවේ වැඩ කොර, ඒ දවසේ නිවාඩුව උපාසකයෙක් ලෙස ලබන 06 වෙනිදා වෙසක් පෝය කිට්‍ටු කර ගැනීම මයියා ගේ බලාපොරොත්තුවය. එක බෙදිල්ලක් ප්‍රතික්ශේප කර තව බෙදිල්ලක් බදා ගන්නේය. බෙදිල්ලේ හැටි එහෙමය....ඕකට ගැනු දුක් වෙලා වැඩක් නැතිය........

2222