Monday, 26 September 2011

මං ආසම.....බොරුකාරයන්ට.....

අපේ රටේ දේශපාළුවෝ කටේ දිවේ නොගැවී කෙප්ප ඇද බෑමට අති රුසියෝය. මොවුන්ගේ ගල් පැලෙන බොරු පොරොන්දු ජනතාවත් ගොන්නු රෑනක් සේ අසා සිටින්නෝය. බොරු කෙලින දේශපාළුවා තමන් කියන්නේ බොරුවක් බව දනියි. එය අසා සිටින ජනතාවද මෙය බොරුවක් බව දනියි. එහෙත් කිසිවෙකුටත් වගේ වගක් නැත. විහිලුම කාරණය වන්නේ තමන්ගේ එදිනෙදා වැඩද පාඩු කරගෙන මේ මෝඩ ජනතාව ටෙලිවිශන් එක ඉස්සහරට වී බොරුකාර දේශපාලුවාගේ කතා, බොරූ බව දැන දැන අසා සිට, නින්දට ගොස්, ඊලග දවසේද බොරු කෙලිනවා බලන්න ටෙලිවිශනය ඉස්සහරා පැලපදියම් වීමයි. බොරුවක් කිව්වයි කියා දේශපාළුවාටද ගානක් නැත. ජනතාවට ද ගානක් නැත. ජනතාව දේශපාලුවා ප්‍රශ්න කරන්නෙ නැති අතර දේශපාළුවාට ප්‍රශණයක් පැන නගිනේද නැත. ඒ වෙනුවට මේ මෝඩ ජනතාව ආකර්ශණියම බොරු කියන්නා වැඩිම ජන්දයේන් පාර්ලිමේන්තුව්වට පත් කර යවා , මේ බොරුකාරයන් රට ආශ්චර්‍යක් කරනවා බලන්න හීන මවයි. රටේ අශ්චර්ය්‍ය කෙසේ වෙතත් දේසපාළුවාගේ ආශ්චර්ය්‍ය දැක අවසානයේ හිත හදා ගනී.

ආන්ඩු හා විපක්ෂ යන දෙයාකාරම බොරුකාර ‍රැලේ අලුත්ම චරිතය වන්නේ ජවිපේ නායක සෝමවංශ අමරසිංහ මහතාය.සුමානෙකට පමන පෙර පක්ශය ඇතුලේ මහත් අර්බුදයක් ඇති වී , පක්ශය දෙදරා යාමට ආසන්න මොහොතේත් මේ බොරුකාර නායකයා තමන්ගේ පක්ශය ඇතුලේ කිසිම ප්‍රශ්නයක් නැති බව ඇගට පතට නොදැනී කියා සිටියේය.දැන් දැන් සියල්ල මාධ්‍ය මගින් එලි කරන ලැබුවායින් පසු , තව දුරටත් තමන්ගේ බොරුව ඉදිරියට ගෙන යාමට බැරි කොට , මෙතෙක් කල් තමන් වාදනය කල තැටිය වෙනස් කර පක්ෂය තුල ප්‍රශ්ණයක් ඇති බව හෙතෙම පිලිගන්නේය. බොරු කියූ ඔහුටත්, බොරු ඇසු අපටත් කිසිම ප්‍රශ්නයක් නැත.


කිසියම් පක්ශයක් තුල සිදුවන සියලු කරුනු කාරනා මහජනතාවට එලි කල යුතු යැයි මයියා අදහස් කරන්නේ නැත. ඒසේ කල යුතු ද නැත. එහෙත් කුමන කාරනයක් සදහා උවද ඇගටපතට නොදැනි බොරු කියන මේ දේශපාලන සම්ප්‍රදායට විරුද්ධ වීම මහජනතාවගේ යුතුකමය. එය සෝමවංශ මහතාට පමනක් නොව , රනිල් මහතාගේ සිට මහින්ද මහතා දක්වා සිදු විය යුතුය. ඒ අතින් ටිල්වින් සිල්වා මහතා යම් තරමකට හෝ ජනතාවට බොරු නොකියා තමන්ගේ පක්ශය ඇත්ලේ ඇති මත ගෑ‍ටුමක් ඇති බවද ඒය පක්ශය ඇතුලේ විසදා ගන්නා බව ද ඉතා නිවැරදිව කියා සිටියේය.

පක්ශ පාට බේදයකින් තොරව බොරුකාරයන් නිරාවරනය කිරීම ජනතාවගේ යුතුකමය. එහෙත් ප්‍රශ්ණය වන්නේ මේ රටේ බහුතර ජනතාවද බොරු කාරයන් වීමය. දරුවෙකු මෙලොව උපන් දා සිටම ඔහුව හුරු කරන්නේ ‍රැවටීමට හා බොරුවටය. මෙසේ හැදී වැඩෙන දරුවා බිහිකරන සමාජය තුල බොරුව සාමාන්‍යකරනය වීම ගැන පුදුම විය යුතු නැත.

බොරු කියන්නාට නොකල හැකි පවක් නැත. බොරුවෙන් ජීවත් වන අප සමාජයටත්, ඉදිරියට ඉපදෙන්න සිටින දුවා දරුවන්ටත් දෙයියන්ගේම පිහිටය.

Thursday, 22 September 2011

කාලය වෙනස් කරන්නට පැමින..කාලයට අනුව වෙනස් වීම හෙවත් වර්තමාන ජේවීපි අවුල


විජේවීර සහෝදරයා ජවිපේ හැදුවේ ජනතාවට උගන්වන්න මිසක ජනතාවගෙන් ඉගෙන ගන්න නොවේය. එහෙත් අවසාන විග්‍රහයේදී, භූමියේ යථාර්තය වී ඇත්තේ විජේවීරට පමණක් නොවෙ මුලු ජවිපේ යාන්ත්‍රනයටම ජනතාවෙගෙන් පාඩම් ඉගෙන ගැනීමටය..මාක්ස්වාදයේ මහප්‍රාණ වචන ටිකත්, සිංහල ජාතිකත්වයේ ආවේගශීලීත්වයත් කලවම් කර ජනතාවට මැජික් පෙන්වීමට උත්සාහ කල ජවිපේට අද සිදූ වී ඇත්තේ තමන් ජනතාවට පෙන්වීමට උත්සාහ කල ඊනියා මැජික් සංදර්ශනයේ බංකොලොත් මැජික්කරුවාත් , අඥාන ප්‍රේක්ශකයාත් යන භූමීකා දෙකම තමන් විසින් තමන්ටම රග දක්වා ගැනීමටය.1966 කැලැත්තෑවේ සාකච්චාවේ සිට , එනම් ජවිපේ මුලාරම්භයේ සිටම, අවුලක් වූ ජවිපේ මාක්ස්වාදී ජාතිකත්ව පැටලුම , ජීවිත දහස් ගණනක් බිලි ගත් අසාර්ථක ආණ්ඩු විරෝධී කැරලි දෙකකට පසුවත්, තවමත් විසදා ගත නොහී, නූතන තොරතුරු තාක්ශණ යුගයේ පවා, තවත් එක් ආණ්ඩු විරෝධී කැ‍රැල්ලක් සදහා අර අදිමින් සිටිනවා.

වාර්තා වන අන්දමට ජවිපේ නිල නොවන නායකයා ලෙස ඕස්ට්‍රේලියාවේ සැගවී කටයුතු කල 'කුමාර මහත්තයා' නොහොත් ප්‍රේමකුමාරන් ගුනරත්නම් ,වර්තමාන ජවිපේ අභ්‍යන්තර අරගලයේ එක පාර්ශවයක් නියෝජනය කරන අතර අනෙක් පාර්ශවය ජවිපේ නිල නායකයා ලෙස කටයුතු කරන සෝමවංශ අමරසිංහ ප්‍රධාන ටිල්වින් සිල්වා යන අයවලුන් නියෝජනය කරනවා.මුලදී මත අරගලයක් ලෙස අර්ථකථනය කලද දැන් දැන් පක්ශයේ අයිතිය සම්භන්දව නීතී මාර්ගවලට යෑමට තරම් කාරණාව දිග් ගැසී තිබෙනවා. මෑතකාලිනව සිදු වූ නන්දන ගුණතිලක හෝ විමල් වීරවංශ වැනි පුද්ගල කේන්ද්‍රගත බිදී යෑම් මෙන් නොව , මෙවර ඇතිවන බේදීම පක්ශයේ අයිතිය, මතවාදය හා ඉදිරි අරමුනු ඉලක්ක කර ඇතිවන ප්‍රධාන බිදී යාමක් බවට ඒත්තු ගැන්වෙන කරුනු කාරනා මේ වන විට සිද්ධවෙමින් පවතිනවා. 1993- 1995 කාලවකවානුවේදී පැරිසිය කේන්ද්‍ර කරගත් සෝමවංශ අමරසිංහ හා ලන්ඩනය මුල් කරගත් , විජේවීරගේ මස්සිනා වූ චන්ද්‍රා ප්‍රනාන්දු අතර සිදු වූ පක්ශයේ නම හා නිල ලාංචනයයේ අයිතිය පිලිබද ගැටලු සහගත තත්වයට පසු , එවන් ප්‍රධාන අරගලයක් පක්ශය තුල සිදුවන ප්‍රථම අවස්ථාව මෙය වනවා. පක්ශයේ බිම් මට්ටමේ ස්ථානගතවී ඇති ශක්තිමත් යාන්ත්‍රණය හරහා මුල් කී සදහන් වූ නන්දන ගුණතිලක හා විමල් වීරවංශ කෑඩී යැම්, ලාංකික දේශපාලනය තුල කෙසේ වෙතත් පක්ශ අභ්‍යන්තරය තුල කලමණාකරනය කර ගැනීමට ජවිපේ පක්ශයක් වශයෙන් ශක්තිමත් උවත් මේවර ඇතිවන දෙදරා යෑම , මෙම බිම් මට්ටමේ ජවිපේ ක්‍රියාකාරීන් වික්ශිප්ත තත්වයකට පත් කරමින් සිටිනවා. පක්ශයේ ප්‍රචාරක යාන්ත්‍රණය කුමාර හිතවාදින් සතුව තිබීම මෙයට එක් ප්‍රබල හේතුවක් වෙනවා. පක්ශයේ නිල පුවත්පත වන 'ලංකා' පුවත්පත කුමාර හිතවාදියෙකු වන ලසිත් නමින් හැදින්වෙන පුබුදු ජාගෝඩ විසින් මෙහෙයවීම හා පක්ශයේ අධ්‍යාපන අංශයේ ප්‍රකාශනය වන 'සාර්‍යා' කුමාර තමන් විසින්ම මෙහෙය වීම මෙසේ පක්ශයේ ප්‍රචාරක යාන්ත්‍රනයේ බලය කුමාර හිතවාදීන්ට නතු වීමට ප්‍රධාන හේතුව ලෙස දැක්වෙනවා.

පක්ශයේ භෞතික දේපල සම්භන්දයෙන්ද පවතින්නේ මේ ආකාරයේම ගැටලුවක්. මදනායක නැමැත්තකු නමට ලියා තිබු බත්තරමුල්ලේ පිහිටි පක්ශ ප්‍රධාන කාර්‍යාලය පසුගිය සුමානයේ ටිල්වින් සිල්වා විසින් තමන් අතට පවරා ගත් නමුත්, ඊට පසුව මෙම ගැ‍ටුම් ව්‍යාප්ත වීමේදී , මදනායක නැමැත්තා තමන් සතුව තිබූ පක්ෂයේ වාහන කීපයක අයිතිය ටිල්වින් සිල්වා වෙත පවරා දීම ප්‍රතික්ශේප කර සිටිනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ පක්ශ කාර්යාලය සම්භන්දවද මෙවැනිම ආකාරයේ ගැටළුවකට ටිල්වින් සිල්වා විසින් මුහුන දී සිටිනවා. මේ අතරතුර සෝමවංශ හිතවාදී පිලේ ඇතැමෙක්, ආගමන විගමන නිතී උල්ලංගනය කිරීම සම්භන්දයෙන්, දැනට ලංකාවේ ‍රැදී සිටින කුමාර මහත්තයා ආන්ඩුව ලවා අත් අඩංගුවට ගැනීමේ උත්සහයකද නිරත වී සිටිනවා. කෙසේ නමුත් කුමාර මහත්තයා සතු පක්ශයේ රහස් නැතහොත් සෝමවංශ කණ්ඩායමේ අප්‍රසන්න රහස් එලි වේයැයි බියෙන් මේ සදහා සම්පූර්ණ උත්සහය නොයෙදුවත් , කරුනු කාරනා කලමනාකරනය කර ගත නොහැකි මට්ටමට ගියොත් මේවැනි දෙයක් සදහාද ඉඩකඩක් පවතිනවා.

මතුපිටින් මොන අකාරයට පෙනුනත්, ජවිපේ වර්තමාන දෙදරා යාමට ද හේතුව එහි ජාතිකත්වය හා මාකස්වාදය පිලිබද ව ඇති අභ්‍යන්තර අවුල් සහගත තත්වයයි. කොටින්ම කියතොත් මේ සිදුවන්නේ ..ලංකා පොලොව තුල නිර්ධන පංතියේ විප්ලවයක් අපේක්ෂා කරන අතාත්වික දේශපාලන සිහින දකින්නන් කීපදෙනෙක් හා ඊනියා නිර්ධන පංතිය පිලිබද නිර්විඥාත්විකව තේරුම් ගත් ප්‍රායොගික දේශපාලන අම්බරුවන් කීප දෙනෙක් අතර ගැ‍ටුමකුයි...... අවුරුද්දේ 365 දවසෙම ඉර මුදුන් වෙන , මොනවා නැතත් කොස් ගෙඩියක් හෝ දෙල් ගෙඩියක් තම්බා බඩගින්න නිවා ගත හැකි සමාජයක , සාර් යුගයේ රුසියාවේ සිටි සීතලේ වෙව්ලන හාමත් කම්කරුවා නොමැති බව තේරුම් නොගැනීම ජවිපේ අවසානාවක් නොව, ඊනියා නිර්ධන පංතියේ ආඥාදායකත්වයක් උදෙසා තමන්ගේ වටිනා තරුන ජිවීත ලෙයින්, දහඩියෙන් හා කදුලින් කැප කල අඥාන, අසරන ලාංකික තරුනයාගේ අවාසනාවයි.... ලාංකීය බහුතරය ප්‍රකම්පිත වන්නේ කවදාවත් යථාර්තයක් නොවන කන්න බොන්න නැති හාමතේ මියයාමක් වෙනුවෙන් නොව මිලේජ්‍ය ත්‍රස්තවාදයකට ඒරෙහි ජාතිකත්වයේ ගිණිපුලිගු වෙනුවෙන් බව මේ දේශපාලන සටකපටයන් තේරුම් ගෑනිම මොවුන්ගේ ජාතිකත්ව මාකස්වාද අර්බුධයේ මූලික හේතුවයි. බලය වෙනුවෙන් ජාතිකත්වය නොව ජාතිවාදය උවද කරට ගැනීම.... , ඊනියා පංති සටනක් ගැන විශ්වාසයෙන් සිටින මේ දේශපාලන අවස්ථාවාදීන්ට ඉතා සුලු දෙයක්ය. අද සිදුවන්නේ මෙසේ හවුලේ කඩේ ගිය, ඒසේ කඩේ ගොස් අනාගෙන සිටින, .... නමුත් තමන් අනාගත් බව නොදන්නා හා තමන් අනාගත් බව තේරුම් ගත් කන්ඩායම් දෙකක් අතර ගැ‍ටුමක්ය.
( this was written on 21 st of Sept 2011: Mayya)

see Vijitha Herath Replies on 24/09/2011

see Divaina article on 25/09/2011

අශ්‍රිත ලිපි : http://www.sundaytimes.lk/110918/Columns/political.html

Friday, 16 September 2011

මලක අසිරිය: Power of Weeds

'නිතර පස් පව්'

ටයි මහත්තයගේ දොස්තර හොද හිත කා‍ටුන් එක බලලා තියෙනව නම් දන්නවනේ... මේ මොකක්ද කියන්නේ කියලා. දිය රකුස් ගේ කණ්ඩායමේ මොටෝ එක...... දැන් ඉතින් පවුලක් පන්සලක් වෙලා , බණක් දහමක් අහගෙන හිටියට මොකද..., ඉස්සර මයියත් පස් පව් වලට පැනලා....මේකටම හරි යන්න මයියටත් හිටියා, නියම අපාය සහය..., ඒ කියන්නේ අපායට යන්න අඩගැහුවත් බොක්කෙන්ම එන ගජයෝ ටිකකුත්. මුන් ටික නම් තාමත් ඒ වගේම තමයි.... දැන් උනත් මයියා මුන්ට අපායට යන්න අඩගැහුවොත්.. උන්ගේ ඉතින් ආයේ ඇඹරිලි නෑ... හැබැයි ඉතින් මුන්ට ඒකට වෙලාවක් හොයලා දෙනවයි කියන එක නම් ඉතින්, කාලයත් නිරීක්ශකයාට සාපේක්ශයි කිව්ව අයින්ස්ටයින් නෙමෙයි අයින්ස්ටයින් ගේ අප්පොච්චා ආවත් බොරු.... මොනා උනත් දැන් නම් කාලය, අවකාශය හා පැට්‍රල් යනාදිය මයියා ගේ ගැන්සිය සෙට් වෙන්න ලොකුම පරහ බව නම් බොරුවකුත් නෙමේ...

මොන පස්පව කලත් මයියාලගේ සෙට් එක ප්‍රතිපත්ති ගරුකයි.පස්පව් සම්භන්දයෙන් අපේ ප්‍රතිපත්තිය තමයි 'කුඩුයි, බඩුයි ඇරෙන්න ඕනා දෙයක්'.......

බඩු ගැන කථා කිරිල්ල පැත්තක තියලා.... පලවෙනි එකෙන් පටන් ගන්නම්කෝ... කුඩු ගැන කිව්වම මේ කථා කරන්නේ තේ කුඩු නොවන විත්තිය කවුරුත් දන්නවනේ.ඒ දවස් වල තිබ්බ..ලොකුම නරක වැඩේ තමයි කුඩුගැහිල්ල... අපි කවදාවත් ලොකුම කැල්ල හොයන කට්ටිය නෙමෙයිනේ... ඒ හින්ද කට්ටිය කුඩ්ඩට නම් සෙට් උනා තියා ඒ ගැන හීනෙන්වත් හිතුවේ නෑ. ඒත් කුඩ්ඩ ගාවට තිබ්බ ඊලග නරක වැඩේ තමයි මල...වීඩ්ස් කියලා හැදිච්ච විදිහට කියන්නේ...ඒක නම් ඉතින්.. කට්ටිය නිකං ඇරියේ නෑ. ඉදලා හිටලා මලක අසිරිය විද ගන්න කට්ටිය පුරුදු වෙලා හිටියා...



අපේ මල් වෙලෙන්දා වෙලා හිටියේ රත්නේ අයියා. රත්නේ අයියගේ බෙල්ලේ එල්ලිලා තිබුනේ හරක් බදින්න ගන්න කඹයක් තරම් මහත රත්තරන් මාලයක්. හැබැයි මිනිහගේ බිස්නස් එක තැඹිලි. ලොකු ඉස්කෝලේ ඉස්සර තිබ්බ තැඹිලි ලැල්ල රත්නේගේ. මිනිහගේ කකුලත් නොන්ඩියි. දන්නවනේ ඉතින්, විකුණන්නේ තැඹිලි නම්, කකුලත් නොන්ඩියි නම් මිනිහගේ මේන් බිස්නස් එක මොකක්ද කියලා...කරේ තියෙන චේන් එක හරි , අතේ තියෙන බ්‍රේස්ලට් එක හරි කියන්නේ මල් විකීනීමට ඈත කියලා බෝඩ් එකක් එල්ලන් ඉන්නවා වගේ තමයි... ඕනෑම ටවුමක මලක් හොයා ගන්න කියාපු විදිහ.... හැබැයි හැමෝටම දෙන්නේ නෑ. පුරුදු කස්ටමර්ස්ලට විතරයි.....ඇස් බබලන සැබැ මල් රසිකයෙක් නම් ඒත් අවුලක් නෑ.

මේ කියන දචස් වල තණ්මල්විල පැවිල්ල....පොලෝසියත් හොද වෙලා.....ඒක හින්ද බඩු හිගයි. ඒත් රත්නේ අයියා කෙලින්....




 අපිත් ඉතින් විභාගයක් ඉවර වෙලා රත්නේ අයියගේන් බඩුත් අරං..ඊට අමතරව බොන දේවලුත් අරගෙන ගල්කිස්සේ මූදූ වෙරලේ...........



කාලය ගත උනා...මයියට මතක ඔලුව මැද්දෙන් සීතල හුලගක් යනවා විතරයි. ඔලුව දෙපැත්ත රස්නේයි.මැදින් හීතල......මේ විදිහට පැය දෙක තුනක් යන්න ඇති....ඒදා රෑ කට්ටියම බෝඩීමට ආවා. කොහෝම ආව ද කියල නම් අහන්න එපා..... විභාගේ ඉවර හින්දා, පහුවෙනිදටම කට්ටිය ගෙදර යන්න තමයි සෙට් වෙලා හිටියේ......

පහුවෙනිදා මයියට ඇහැරෙන කොට පොඩ්ඩක් දවල් වෙලා...ඒත් අවුලක් නෑ......වෙරි ගතියවත්, මත් ගතියවත් නෑ..ඒක හින්දා මයියත් ගෙදර යන්න පිටත් උනා. බස් එකට නැගලා, කොන්දා මල්ලි කොහාටද යන්නේ කියලා අහනකොටම මයියට වෙනසක් තේරුනා.ඒත් බය වෙච්ච බයවිල්ලට මයියා තේරුනේ නැති විදිහටම හිටියා. මොකක්දෝ වෙනසක් දැනුනු හන්දා ඇස් දෙක පියා ගෙනම හිටියා. ඔය විදිහට කොහොමින් කොහොම හරි ගෙදර ආවයි කියමුකෝ....ගෙදර අවාම තමයි මොකක්ද අප්සෙට් එක කියලා හරියටම තේරුනේ..අම්මා මොනවදෝ කියනවා....අම්මා කියන්න හදන දේ..මයියට තත්පර දශමෙනුත් දශමෙකට ඉස්සෙලා තේරෙනවා...අක්කා කතා කරන දේත් එහෙමයි....ඒත් මයියා හොද සිහියෙන්...සිහිය හොද උනාට මයියා ගේ කාලය, ගෙදර කට්ටියගේ කාලයට වඩා චුට්ටම චුට්ටක් ඉස්සරහෙන්.....කොටින්ම කියනව නම් මයියගේ අවකාශ කාල රාමුව, සාමාන්‍ය සම්මත අවකාශ කාල රාමුවට මිලිසකන්ඩ් ගානක් ඉස්සරහෙන්...

එදා දවස ඔහොම ගත උනා...මයියාට නිදා ගන්න ඕන උනත් නින්ද යන්නේ නෑ...එක එක දේවල් ඔලුවට එනවා...මයියට සාමාන්‍ය ලෝකයත් එක්ක සින්ක්‍රොනයිස් වෙන්න බෑ.මුලු ලෝකයම පිස්සුවක් වගේ...මිනිස්සු පිස්සු කෙලිනවා...මයියා ඒ දිහා බලං ඉන්නවා....ඒත් මිනිස්සු හිතන විදිහට මයියට පිස්සු.....ලෝකයම රග මඩලක්....මිනිස්සු ඒකේ පිස්සු කෙලින නළු නිළියෝ ටිකක් විතරයි...ල මිසරාබ්ලේ ලියපු වික්ටර් හියුගො.. මෙහෙම කියලා තියෙන්නේත් මලක් ගහලා වෙන්න ඇති..කථාව සහතික ඇත්ත....



පහුවෙනිදා දවල් ආයේ අපේ ගැන්සිය ටවුමේ සෙට් උනා......මයියා උන්ට කථාව කියවනවා...මයියා කොහොමත් ඉන්නේ උන්ගේ කාල අවකාශ රාමුවෙන් ඉස්සරහ නිසා, උන්ට මයියා කියන දේ ව්හිළු වගේ..ඒත් මයියාට හිතෙන විදිහට උන්ට පිස්සු....ජීවීතේ පිස්සුව තේරෙන්නේ නැති පිස්සො ‍රැල....ලෝකය මොනතරම් විහිලුවක්ද?..ඒ විහිලුවෙන් එලියට පනින්න මිනිස්සු බයයි...එතකොට ලෝකයාට ඌ පිස්සෙක් වෙන හින්දා....ඒ බය ඒ විදිහටම මයියටත් දැනුනා........

මේ වගේ දවස් දෙක තුනක් ගියා....මයියට බයයි , සතුටයි එක වගේ දැනුනා....මිනිස්සුන්ට මයියා ව පිස්සෙක් වගේ පේන හින්දා මයියා බය උනා....ඒත් ලෝකයම පිස්සන් කො‍ටුවක් කියලා තේරුම් ගත්ත එකට මයියා සතු‍ටු උනා..බයයි සතුටයි දෙකම එක ලග...දැනුත් මේක මතක් වෙන කොට මයියගෙ මයිල් ඉස්මයිල් වෙනවා............

කාලය ගෙවිලා ගියා..ටිකෙන් ටික මයියා අර පිස්සු කියලා හිතපු ඇත්ත ලෝකයට ආයෙත් එන්න ගත්තා...ඒ පිස්සු ලෝකෙන් ඈත් වෙලා ඉන්න කොට දැනෙන්නෙත් සතුටක්...ඒත් ඒ ලෝකෙට ආයෙත් එන කොට දැනෙන්නෙත් සතුටක්...මිනිස්සු ලෝකෙට එන කොට එන්නෙත් අඩා ගෙන.යන කොට යන්නෙත් අඩා ගෙන....ඒ සතු‍ටු කදුලු වෙන්න ඈති......

මේ සිද්ධියෙන් පස්සේ, කාලයක් යනකන් මයියා මලක් තියා... දුමක් දිහාවත් ආයේ ඇහැක් ඇරලා බැලුවේ නෑ...බීම ජාතිත් එහෙමයි.....සිද්ධිය වෙලා පියවි සිහියට ඇවිල්ලත් කාලයක් යනකන් මයියා මේ සිද්ධිය මතක් කරන්නවත් බය උනා. ඒත් කොහොම හරි මයියා ඒ දවස්වලම දැන් මයිලේඩි වෙලා ඉන්න, ඒ දවස් වල මයිකෙල්ලට කථාව කිව්වා..එයා මයියාගේ මූණ දිහා බලා ගෙන උන්නා..ඒ ඇස් වලින් ගොඩක් දේවල් කිව්වා.....


ලෝකයේ හිටපු, ලෝකය වෙනස් විදිහට දැක්ක සමහරක් දාර්ශනිකයෝ ගංජාකාරයන් උනේ කොහොමද කියලා මයියා ට හිතා ගන්න පුලුවන් උනා .... අහලා තියෙනවනේ ඉස්සර හිටිය පර්සියානු දාර්ශනිකයෝ ගැන...දැනටත් ඉන්දියාවේ ඉන්න සමහර බ්‍රහ්මණ බුවාලා මලේ පිහිටෙන් තමයි ඉන්නේ..මයියට හිතෙන්නේ, මල් දුමාරයෙන් සාමාන්‍ය ජීවිතේ දී අපේ මොලේ වැඩ කරන්නේ නැති කොටසක් උත්තේජ්නය කරනවයි කියලා...ඔය දර්ෂණවාදයට අදාල මෝලේට සම්බන්ද කෑල්ල මල් වලින් උත්තේජනය කරනවා...හැමෝටම එහෙම නොවෙන්නත් පුලුවන්....නරක බිරිදක් ලැබුනමත් ඔහොම වෙනවලු..අහලා තියෙනවද?...ඔබට හොද බිරිදක් ලැබුනොත් ඔබ සතුටින් ගත කරනවා...නරක බිරිදක් ලැබුනොත් ඔබ දාර්ශණිකයකු වෙන්වයි කියලා කථාවක්....අහලා නැතන්ම් ඉතින් දැන් අහ ගත්තනේ...

මේ කතාව මයියට ලියන්න හිතුනේ එක දෙයක් කියන්නයි...කොට්ටොරුවා හැම ගහටම කෙ‍ටුවත් වැරදි එක ගහකට කෙ‍ටුවම කථාව ඉවරයි..සමහර විට ඒ කොටන පලමු අවස්ථාව හා අවසාන අවස්ථාවත් වෙන්න පුලුවන්..මල් ගැහිල්ලත් එහෙමයි......බොරු නම් අංගොඩ පැත්තේ ගිහිල්ලා රවුමක් දාන්නකෝ....

ඒත් පිස්සෝ කියලා කියන්නේ පිස්සන් කො‍ටුවේ ජීවත් වෙන කට්ටියටද නැත්නම් ඒකෙන් එලියේ ජීවත් වෙන අපටමදැයි කියලා මයියාට වෙලාවකට හිතෙනවා...දැන් නම් එහෙම් කල්පනා කරන්න මලක් අත්‍යාවශ්‍යම නෑ.......

බුදුහාමුදුරුවෝ පස් පව් වැරදීයි කියලා තියෙන්නේ බොරුවට නෙමේ.......


මේ වීඩියෝ එකත් බලන්න අමතක් කරන්න එපා...





Thursday, 8 September 2011

මයියාගේ කතන්දර හෙවත් මයිකථා : MY STORY BOOKS

ඊයේ පෙරේදා දවසක යාළුවෙක්ව හම්බ වෙච්ච වේලාවක හොද මාතෘකාවක් ඉබේටම වගේ ඇදිලා ආවා. ඒ ඉස්සර අපි කියවපු පොත් ගැනයි. ඉස්සර කියවපු පොත් කිව්වේ ඉතින් මැතක නම් නිවීහැනහිල්ලෙ පොතක් පතක් කියවන්න නොලැබුනු හින්දයි. යාළුවත් මයියා වගේම පොත් කියවපු කෙනෙක් හින්දා දන්නේම නැතුව කතාව ගොඩාක් වෙලා ඇදිලා ගියා. යාළුවගේ බිරිදත් පොත් රසිකයෙක් හින්දා කථා බහ නියෙමටම ආතල් එකේ රෑ 12 විතර වෙනකන් ඕහේ ඇදිලා ගියා. යාළුවා නම් තාමත් හොදට පොත පත පරිහරණය කරන නමුත් මයියා ට නම් ඒ වැඩේට කාලය ගොඩක් දුරට හරස් වෙලා. ඉස්සර පොඩි කාලේ නම් පොත පත කියවන්න තිබ්බ එකම බාදකය, පොත පත මිලදී ගන්න හැකියාවක් නොමැති කමයි. ඒ දවස් වල ඒකට තිබබ උත්තරය උනේ යාළුවොත් එක්ක පොත් හුවමාරු කර ගන්න එක තමයි. මයියලගේ ගෙවල් ගාව තිබ්බ පුස්තකාලයත් ඒ දවස් වල මයියාට ගොඩක් උපකාර උනා.

මයියාට මතක විදිහට මයියා ඉස්සෙල්ලම තනියෙන්ම කියවපු පොත, පොල් ගෙඩි සයිස් අකුරු තිබ්බ ලමා කථන්දර පොතක්. ඒක මේ 'දීප්ති' කියලා කූබියෙක් ගැන තිබ්බ කතාවක්. පොතේ තිබ්බ පින්තූරයක් නම් දැනුත් මයියා ට බොද වෙලා වගේ මැවිලා පේනවා. ඒත් කතන්දරය නම් හරියට මොකක්ද කියලා නම් මතක නැ. මේක මං හිතන්නේ දෙක වසරේ හරි තුන වසරේදි හරි කියවපු පොතක් වෙන්න ඇති.මයියාට මතක් ගෙදර සාලයේ තිබ්බ සැටියේ වාඩි වෙලා මේ පොත කියවනවා තමයි. මොනා උනත් 'දීප්ති' කියන නමට නම් තාමත් මයියා ගේ විශේෂ කැමත්තක් තියෙන විත්තිය කියන්න ඕනා. සමහර විට මේ කතන්දරය ඒකට බලපාලා ඇති. ඊට පස්සේ යාළුවෙක් ගාව තිබබ 'ලස්සන වසිලිස්සා ' පොත ගෙදර ගෙනත් කියවනවා මයියා ට මතකයි. මේකේ ලස්සන සුරංගනා කතා ගොඩාක් තිබ්බ විත්තිය මතක නමුත් ඒ කතා නම් මතක් කරලා ගන්න හරිම අමාරුයි. එත් ඊයේ පෙරේදා දවසක මයියා ගේ බිරිද මයිලේඩි, මයිපැටවුනට කියලා දුන්න කතාවක් නම් මේ පොතේ තිබ්බ විත්තිය මයියාට එක පාර මතක් උනා, ඒ කුමරිකාව හා කුමාරවරු හත් දෙනාගේ කථාව තමයි.අර කුමාරවරු හත් දෙනා හංසයෝ වෙන්නේ.

ඊලගට මයියා ගෙ මතකයට එන්නේ මයියා පහ වසරේදි විතර කියෙව්ව 'වන ගත ලමෝ' කියන ලමා කතන්දර පොතයි. ඒක ලියලා තිබ්බේ කතොලික පිය නමක්. මෝලේ කොච්චර මලකඩ කාල ද කියනව නම් දහ පාරක් විතර කියවලා තියෙන මේ පොත ලියපු, ඒ පියතුමාගේ නම මයියා ගේ මතකෙට එන්නේම නැ. මොනා උනත් මේක මයියා හරි ආසවෙන් කියවපු පොතක්. මේ කාලෙම මයියා කියවපු පොතක් තමයි ලෙටීශියා බොතේජු ගේ ' පාර දිගේ' නවකාථාව. අම්මෝ මේ පොතත් මයියා 15 පාරක් පමණ කියවලා ඇති. දැන් හම්බ උනත් ආයේත් කියවන්න පුලුවන් ලස්සන පොතක්. මේ පොතේ කථා නායකයා පොඩි කාලේ ගෙදරින් පැනලා ගිහිල්ලා, ඊට පස්සේ ජීවිතේ සිදුවන හැල හැප්පිලි තමයි මේ කථා පොතේ තියෙන්නේ. ඉදලා හිටලා ගමනක් යන කොට , පොතුහැර ප්‍රදේශය පහු කර ගෙන යන කොට මයියා ට මේ පොත තාමත් මතකෙට නැගෙන්නේ, මේ පොතේ කථා නායකයා ගේ ගමත් පොතුහැර වීම නිසයි. මේ කාලේදිම මයියා 'බද්දේගම' නවකතාවත් කියෙව්වත්, ඒ පොඩි වයසට ඒ පොත ඒච්චර අල්ලලා ගිය නැති විත්තිය නම් තාමත් මයියාට මතකයි.මේ කාලේම තමයි මයියා 'නිරුවත් වානරයා' පොත පුස්තකාලෙන් ගෙනල්ලා කියවන්නේ. පොතේ තිබ්බ දේවල් මෙලෝ හසරක් නොතේරුනාට , ලිංගිකත්වය ගැන ලියලා තිබ්බ පි‍ටු කීපය ඒ දවස් වල මයියාත් මයියගේ යාලුවෝ අතරත් ගොඩක් ජනප්‍රිය උනා. වැල පත්තර එන්න කලින් , නිරුවත් වානරයා ගේ පොත, ලිංගික අධ්‍යාපනය සම්භ්න්දයේන් කරපු මෙහෙය ඉතා වටිනවා. ඒත් ඉතින් වැල පත්තර ඉදිරියේ , නිරුවත් වානරයා කියන්නේ ලොරියක් ගාව බයිසිකලයක් හේත්තු කලා වගේ තමයි.

ඊට පස්සේ මයියා අලුත් ඉස්කෝලෙකට යනවා. මේත් එක්කම මයියා ට ගොඩක් පොත පත කියවන්න අවස්ථාව ලැබෙනවා. ටීබී ඉලංගරත්නගේ තිලක, තිලක හා තිලකා ඒතනින් එහාට ගියාම අඹ යාළුවෝ එහෙම කියවන්න හම්බ වෙන්නේ මේ කාලේදි තමයි. අනිත් පොත් වගේ නොවෙයි මේ පොත් නම් මයියා කියවලා තියෙන්නේ එක පාර ම තමයි. පොතක් මෙහෙම ඒක පාරක් විතරක් කියවන්න වෙන්නේ ඒ පොත මයියාගේ යාලුවෙක්ගේ, යාලුවෙක්ගේ යාලුවෙක්ගේ පොතක් වෙන හින්දා තමයි. ඒ හින්දා ඒ වගේ තිබ්බ දේවලුත් මයියාට එච්චර මතකයක් නැ. ඒත් අඹ්යාලුවෝ කතාව නම් මයියා ට හොදට මතකයි. ඒ සමහර විට අඹයාලුවෝ ටෙලි නාට්‍ය නිසා වෙන්න ඇති. ඒතනින් එහාට ගියාම ෂර්ලොක් හෝම්ස් ගේ සිංහල පරිවර්තනයත් මේ දවස් වල මයියා ගොඩාක් පාරක් කියවපු පොතක්. පස්සේ කාලෙක සිරස ගුවන් විදුලියේත් මේ කතා මාලාව ඒ ආකාරයෙන්ම විකාශනය උන හින්දා මේ වගේ තිබ්බ කතා ටික නම් මයියා ට දැනුත් හොදට මතකයි.

මේ කාලේ වෙන කොට මයියා අතට අහු වෙන ඕනෑම දෙයක් කියවන හින්දා, කියවපු පොත් පිලිවෙලකට ගලපගන්න අමාරුයි. ඒහෙම උනත් හොදින් හිතට කා වැදිලා ගිය පොත් කීපයක් ගැන නම් කතා නොකරම ඉන්න බෑ. ' ජෙන් අයර්' සිංහල පරිවර්තනයත් මේ වගේ පොතක් තමයි. මේක මයියගේ උපන් දිනේකට මයිඅක්කා මයිය ට දුන්න තෑග්ගක්. තරුණ ගුරුවරියක් පෝසත් පවුලක දරුවෙකුට උගන්නන්න යනාතරේ ඒ නිවාසය අශ්‍රිතව මෙ කතාව ගොඩ නගලා තියෙනවා. ඉතා සරල කථා වස්තුවක් උනත්, තාමත් ඒක මේ තරම් මතකේ තියෙන්න, ඒ සිංහල පරිවර්තනයේ ගුණාත්මක බව ගොඩක් හේතු වෙන්න ඇති. පස්සේ කාලේක මයියා මේකේ සම්පූරණ ඉංග්‍රිසි පොතත් කියවලා තියෙන හින්දා ඒ මේ සිංහල පරිවර්තනය ගැන මයියා ට තියෙන්නේ උසස් හැගීමක්. මෙ ගණ්යේම තවත් පොතක් වන්නේ 'සුදු වත හැදි කත' කියන පොතයි. මේකත් ' ද ලේඩී විත් ද වයිට්' කියන ප්‍රසිද්ධ ඉංග්‍රීසි පොතේ පරිවර්තනයක්. මේ පරිවර්තනයත් ලෙසටම ලියලා තියෙනවා කියලා මයියා ට හිතෙනවා.

මයියා කොච්චර පොත් කියවලා තියෙන නමුත් අද වෙනකන් අතට අරං කියවලා සම්පූර්න කර ගන්න බැරි වෙච්ච පොත් කීපයකුත් තියෙනවා. මේ අතරින් සුගතපාල ද සිල්වා ගේ 'ඇට මැස්සා' පොත විශේෂයි. මයියා මේ පොත කොච්චර කියවන්න ට්‍රයි කලත් අතර මැදදි මේක නතර කරන්න මයියා ට හිතෙනව. ඒත් ඔය පොත් රසිකයක්ගෙන් 'ඇට මැස්සා' ගැන ඇහුවොත් කවුරුත් ඉහලිම වර්ණනා කරන පොතක් තමයි මේක. සුගතපාලද සිල්වා මහත්තයගේ 'හිට්ලර් එල්ලා මරයි' කියන පොත තුන් හතර පාරක් කියවලා තියෙද්දි, ඒයාගේම 'ඇට මැස්සා' එහෙම කියවන්න හිතෙන්නේ නැති එක නම් මයියා ටත් පුදුමයක්.

පොත් ගැන තව ගොඩක් දේවල් ලියන්න තිබ්බත්, මේ පෝස්ට් එක දිග වැඩි වෙන නිසාත්, ලියලා ලියලා මයියා ට ම ඇති වෙලා නිසාත් ඊලග පෝස්ට් එකෙනුත් මේ මාතෘකාවම කථා කරන අදහසින් මේ ඇදගෙන ආපු කතාව මෙතනින් ඉවර කරනවා.