Monday, 29 August 2011

සමතැනද? නිසිතැනද?


source: http://www.israelnewsagency.com/unwomenhumanrightsgenderequalityisraeldemocracyunitednations48150111.html

කාන්තා අයිතිවාසිකම් කිව්වම ඉතින් මාර ලොකු වපසරියක් ඇති මාතෘකාවක් නේ.සමහර අය කියන විදිහට කාන්තාවන්ට සමතැන දෙන්න ඕනා. තවත් අය කියන විදිහට කාන්තාවට දෙන්න ඕනා සමතැන නොවෙයි නිසි තැනයි.මයියා ට තේරෙන්නේ නැත්තේ මේ සමතැන ඉල්ලන අය ඉල්ලගෙන නා ගන්න හදන්නේ ඇයි කියලා. ගෙදර ගෑනිට බය නැති පිරිමියෙක් නෑ කියලා තමයි මයියා අදුනන විශේශඥ වෛද්‍යවරයෙක් කියන්නේ. ගෙදර මිනිහව කොන්ට්‍රෝල් කරන් ඉන්න ගැනූ සමතැන ඉල්ලන්න ගිහිල්ල නිකං පල්ලෙහට වැටෙන්නේ ඇයි කියල නම් මයිය ට තේරෙන්නේ නැ.

ඒවා එහෙම උනාට මයියා ට නම් ඔයමොන ප්‍රශ්ණයක්වත් නෑ. මොකද මයියත් , මායියාවත් ( මයි ලේඩී) ඕනෑම දෙයක් කරන්නේ බෙදා හදා ගෙන වීම නිසයි. කොටින්ම ඔය ඩිශිෂ්න් මේකීන් ඒ කියන්නේ තීන්දූ තීරණ ගන්නේත් ඉතින් අපි දෙන්නා බෙදා හදා ගෙන තමයි. මේ කාරණාවේදී මායියාව ඉතාම ත්‍යාගශීලී වී තියෙනවා. ඇය ස්වකැමැත්තෙන්ම ලොකු ලොකු තීරණ ගැනීමේ අයිතිය මයියා ට පවරලා තියෙන අතර , ඔය පොඩි පොඩි තීරණ ගැනීම ඇය භාරගෙන තියෙනවා. උදාහරණයක් ලෙස ගෙදරට ගාන තීන්ත වල පාට, ලමයාව දාන ඉස්කෝලේ, අවුරුද්ද අවසානයේ යන විනෝද චාරිකාව යන්නේ කොහෙද, වීක් එන්ඩ් එකේ බලන ‍ෆිල්ම් එක මොකක්ද, අටට ටීවී එකේ නිව්ස් බලනවද නැත්නම් වෙන මෝකක් හරි බලනවද , පාටී එකකදී කාලා බොනවද නැත්නම් බීලා කනවද වගේ පොඩි පොඩි ප්‍රශ්ණ වලට අදාල තීන්දූ තීරන ගන්නේ ඉතින් මායියාව තමයි. එකත් ඉතින් මයියා ට කරන උදව්වක් ලෙස තමයි. මොකද මයියා ට විසදන්න තියෙන්නේ ඊට වඩා ගොඩක් ලොකු ප්‍රශ්ණ නිසා.ලොකු ලොකු ප්‍රශ්න කිව්වම ඉතින් ඔය ඇමරිකාව ඉරානයට අත තියයි ද, මානව හිමිකම් සම්ලුවෙදි ලංකාවට ගැටලුවක් ඇති වෙයිද, ඉදිරි දශකය තුල ඩොලරය කඩා වැටෙයිද ආදී ලොකු ලොකු ප්‍රශන සම්භ්න්දයෙන් ඉතින් තීන්දු තීරන ගන්නේ මයියා තමයි.

හැමදේම බදාගෙන කන්නේ නැතිව මේ වගේ බෙදා හදාගෙන කැවම කොච්චර ලොකු පහසුවක්ද? අනිත් එක කාන්තාවට සමතැන නොවෙයි නිසිතැන දෙන එකෙත් කොච්චර ලොකු ඵලප්‍රයෝජන තියෙනවද?

Tuesday, 16 August 2011

හෙජින් හෙවත් චීත්තෙට යට වීමේ ආදීනවය.

හෙජින් යන ආර්ථික කලමණාකරන ක්‍රමවේදය කුමක්ද යන්න නොදන්නා නමුත් 'හෙජින්' යන වචනය පහුගිය දොහේ ලංකාවේ බොහෝ දෙනා දැන හදුනා ගත් වචනයක් උනා. 'සුනාමි' යන යෙදුමට පසුව ජනතාව අතර හිට් උන ඊලග අන්තර්ජාතික යෙදුම 'හෙජින්' කියලයි මයියාට නම් කල්පනා වෙන්නේ. ලෝක වෙලදපොලේ තෙල් බැරලයේ මිල පහල යද්දී ලංකාවේ තෙල් මිල පහල නොයා, පැවති ඉහල මිලටම තෙල් ටික පාවිච්චි කිරීමට ලැබීමේ 'අධික ප්‍රීතිය' ජනතාවට හෙජින් හරහා ජීරනය කරවීමට ආන්ඩුව කටයුතු කල අතර දේශප්‍රේමියකු වීමේ පරම පවිත්‍ර චේතනාවෙන් බහුතර ජනතාව මේ 'අධික ප්‍රීතිය' නිහඩවම විද දරා ගත්තා. මහබැංකුවේ වැඩකරු වෙලා ඉන්න අජිත් කබරාල් මහත්තයා හෙජින් නිසා බැංකු වලට ගෙවන්න වෙලා තියෙන මුදල , ලංකාව වැනි ශක්තිමත් ආර්ථිකයකට මහ ලොකු දෙයක් නොවෙන බව කිව්වම ඇති උන ප්‍රීතිය ඊටත් වඩා ආතල් බව නොකියාම බෑ.

දැන් මේ ප්‍රීතිය දෙගුණ තෙගුණ කරමින් ලංඩනයේ අධිකරනයක් , මේ හෙජින් උර චක්කරමාලයෙන් ගැලවීමට අධිකරණ තීන්දුවක් ලබා දී තිබෙනවා. ඒ මේ හෙජින් ගණුදෙනුව සිදු නොවුනා සේ සලකා රජය හා බැංකුව හා සංසරනය උන මුදල් නැවත එකිනෙකා වෙත ලබා දෙන මෙන් ලබා දුන් තීන්දුවත් සමගයි. ලංකාවට වාසිදායක මේ තීන්දුව ලබා ගැනීමට රජය පාවිච්චි කලේ ඉතා සරල තර්කයක්. ඒ මේ ගනුදෙණුව ශ්‍රීලංකා නීතීපද්ධතිය අනුව නීතීවිරෝධි බව කියා සිටීමයි. මේ බව තහවුරු කිරීමට යාමේදී මේ ගණුදෙනුවට සම්භන්ධ රජයේ නිලධාරින් අදාල බැංකු වලින් නීතීවිරෝධි ලෙස ප්‍රතිලාභ ලබා ඇති බව රජය කියා සිටියා.

මෙහිදී රජය තමන්ට වාසි තීන්දුවක් ලබා ගැනිමට ජාත්‍යන්තර තලයේදී තම නිලධාරීන් වරදක් කර ඇති බව පිලිගෙන තිබෙනවා. දැන් මේ සමගම නැගෙන ඊලග කාරනය වන්නේ දේශීය තලයේදී මෙම නිලධාරීන් හට දඩුවම් කෙරී ඇත්දයි යන්න යි.උත්තරය ඔවුන් නිදැල්ලේ සිටින අතර ඔවුනට ලබා දී ඇති එකම දඩුවම තෙල් අදිකාරියේ තනතුරු දැරිය නොහැකි බවට ලබා දී ඇති තීන්දුව පමණක් වීමයි. ජනතාවට හිමි අතිවීශාල මුදල් සම්භාරයක් කාබාසිනීයා කර දැමු මේ නිලදාරීන් මෙසේ නිදහසේ සිටින්නේ කෙසේද?.

මොවුනට දඩුවම් නොකලොත් , මේ නුසුදුසු පුද්ගලයන් රටේ හදවත බදු ආයතන වලට පත්කල පුද්ගලයනුත් නෛතික වශයෙන් කෙසේ වෙතත් එතිකල් වශයෙන්වත් වරදකරුවන් නොවන්නේද?

රස්සාවයි , පරස්තාවයි පටලවා ගත යුතු නැතිබව කවුරු කවුරුත් දන්නා කියමනකි. නෑකමට සැලකිමට ගොස් තෙල් ටික පමනක් නොව, ක්‍රිකට් ක්‍රීඩාවටද කෙල වී හමාරය. රටේ නීතිය වැරදිකරුවන් උදෙසා තරාතිරම නොබලා ක්‍රියාත්මක විය යුතුය. ආශ්චර්යයේ පාර වැටී ඇත්තේ සුදුස්සාට සුදුසු තැන දීම හා රටේ නීතීය හරිහැටි උස් පහත් බේදයක් නොබලා ක්‍රියාත්මක වීම හරහාය. රටේ සුභසිද්දිය චීත්ත කෑල්ලකට යට කල යුතු නැති බව තේරුම් ගැනීමට දේශපාලන්යේ මහ ලොකු මුහුකුරා යෑමක් අත්‍යවශ්‍ය නැත. හොර නින්දෙන් අවදීවීම හොදටම ප්‍රමානවත්ය.

ප:ලි:
මෙහි චීත්තය යන්න ඔසරිය වෙනස් විය යුතුය

Tuesday, 9 August 2011

ජනරාල්ගේ කටේ මසුරන් දෑමීම

2008 දෙසැම්බර් මාසයේදී එවකට ශ්‍රී ලංකා යුධහමුදාපතිවරයා උන ජනරාල් සරත් ෆොන්සේකා මහතා ලේක්හවුස් පත්තරයකට සම්මුඛ සාකච්චාවක් ලබා දෙමින් ඉතා නිවැරදි කරුණක් ලුණු අඹුල් සහිතවම කියා සිටියා. ඒ වෙනකක් නොව වයිකෝ, නැදුමරන් වැනි තමිල්නාඩු දේශපාලකයන් 'දේශපාලන විහිලුකරුවන්' බවත් ඔවුන් එල්ටිටීඊ සංවිධානයේ මුදල් මත යැපෙන්නන් බවත් ය. මේ කාරණය ඒ දිනවල මහත් ආන්දෝලනයක් ඇති කල ප්‍රකාශයක් උන අතර ඉන්දීය රාජ්‍ය ත්‍රාන්තිකයන් රෙද්ද උස්සගෙන ශ්‍රී ලාංකාවට එරෙහිව තරව‍ටු කිරීමටත් එය හේතූ උනා. මේ ප්‍රකාශයම මුල් කරගෙන මංගල සමරවීර මහතාද, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් සරත් ෆොන්සේකා මහතා යුධ හමුදා නායකත්වයට නොව ගැලවීමේ හමුදා නායකත්වයටවත් සුදුසු නැති පුද්ගලයෙකු බව ප්‍රකාශ කරන්නට යෙදුනා.

ඒ කෙසේ වෙතත්, සරත් ෆොන්සේකා මහතාගේ කියමන සියයට සියයක් සනාථ කරමින් , වර්තමානයේ තමිල්නාඩු දේශපාලකයන් භායානක එහෙත් දේශපාලන විහිලු නිර්මාණය කිරීමේ කටයුත්ත මැනවින් හා දැඩි උද්යෝගයකින් යුක්තව කරගෙන යනවා. මොවුන්ගේ ජාතිවාදී දේශපාලන විහිලු වලට පින්සිද්ධ වෙන්නට, මේ වනවිට ශ්‍රී ලාංකික බෞද්ධ නඩයකට තමිල්නාඩුවේ නිදහසේ ගමන් කිරීමේ නිදහස මෙන්ම තමන් අතින් මුදල් ගෙවා හෝටල් කාමරයක් වෙන් කරගැනීමේ නිදහස ද නැති කර දමා තිබෙනවා.

මේ දේශපාලන විහිලු නාටකයේ නළුවන් බොහෝ ගනනක් මෙන්ම නම ගිය නිලියන්ද රගපානු ලබනවා. නාටකයේ මූල්‍ය බරපැන නම් දෙමල ඩයස්පෝරාව දරන අතර මිලීයන 65ක් පමන උන තමිල්නාඩු වැසියන් මේහි උද්යෝගීමත් ප්‍රේක්ශකයන්. ලංකාවේ දිග හැරෙන මෙගා ටෙලියක් මෙන් මෙහිද දවසින් දවස ප්‍රේක්ශකයා කුල්මත් කරමින් ජවනිකා දිග හැරෙනවා.


මේ නාටකයේ අළුත්ම ජවනිකාව වෙන්නේ එම්ඩීඑම්කේ නායක වයිකො විසින් ඉන්දියාවේ අගනගරය උන දිල්ලි නුවර දියත් කිරීමට සැරසෙන උද්ඝෝශනයයි. මොහුගේ ඉල්ලීම වන්නේ ශ්‍රී ලංකාවේ දෙමල ඊලමක් සදා දීම හා ඒ වෙනුවෙන් ශ්‍රී ලාංකීක දෙමල වැසියන් අතර ජනමත විමසුමක් ඒක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී පැවැත්විය යුතුයි යන්නයි. අන්තර්ජාතීක රාජ්‍ය ත්‍රාන්තික දේශපාලනය ගැන අඹමල් රේනුවක හෝ දැනුමක් ඇත්තෙකුට මේවන් ජවනිකාවකට මුල් උන මෙවන් දේශපාලකයකු ගැන 'දේශපාලන් විහිලුකරුවෙක්' යන්නට වඩා වෙනත් හොද යෙදුමක් නම් මයියා ට සිහියට නැගෙන්නේ නැහැ.

මීට පෙර සතියේ ඉහත ජවනීකාවේම වීරයා උන එම්ඩීඑම්කේ නායක වී.ගෝපාල්ස්වාමි හෙවත් වයිකෝම, ඉන්දීය අගමැතිවරයා උන මනමෝහන් සින් මහතා හමුවී ප්‍රකාශ කර සිටියේ ඉන්දියාව ලංකාවට එරෙහිව ආර්ථික සම්බාදක පැනවිය යුතු බවයි. ශ්‍රී ලංකාව ඉන්දියාවේ තවත් එක් ප්‍රාන්තයක් නොවන බව දන්න උගත් අගමැතිවරයා එය ප්‍රතික්ශේප කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාව යනු ස්වෛරී රටක් බවත්, එයට අන්තර්ජාතික ක්‍රම උපායන් ඉක්මවා බලපෑම් කල නොහැකි බවත් ය.

මේ නාටකයේ හැඩිදැඩි නළුවන් මෙන්ම , කලෙක දකුනු ඉන්දීය සිනමාව අමන්දානදයට පත් කල සුරූපි නිලියන්ද රග දක්වනවා. වර්තමාන තමිල්නාඩු මහා ඇමතිනී ජෙයලලිතා ජයරාම් මෙසේ ශ්‍රී ලංකාවට එරෙහිව අවිඅමොරාගත් හිටපු සුරූපී නිලියයි. මහාඇමතිනී ලෙස පත් වූ විගසම ඇය කල එක් කාර්යක් උනේ ශ්‍රී ලංකාවට එරෙහිව , යුද අපරාද සම්භන්දව , පියවර ගත යුතු යැයි තමිල්නාඩු පාර්ලිමේන්තුව ලවා යෝජනාවක් සම්මත් කර ගැනීමයී. ඇයගේ ආශීර්වාදය යටතේ දකුණූ ඉන්දීය සිනමා කරුවන්ගේ සංගමය ශ්‍රි ලංකාවට එරෙහිව උද්ඝෝශන සංවිදානය කිරීමටත් පටන් අරගෙන තියෙනවා. ශ්‍රී ලංකාවට පවරා දුන් කච්චතිව් දූපත යලි ඉන්දීයාවට පවරා ගැනීමට ඉන්දීය මධ්‍යම රජයට බල කිරීමත් මේ නාටකයේ ඇය පණපොවන භූමිකාවක්.


මීට අමතරව දකුනු ඉන්දීය සිනමා කරුවෙක් උන සෙබෙස්තියන් සීමන් ද මෙම නාටකයේ ප්‍රබල චරිතයක්. 'අපි දෙමල' ලෙස සිංහලයට පරිවර්තනය වෙන නාම් තමිලයාර් ඉලක්කෛම් සංවිදානයේ සභාපතිවරයා උන මොහු, මිට දින කීපයකට ඉහතදී බෞද්ධ නඩ කීපයකට පහර දීමට මතවාදීමය නායකත්වය ලබා දුන් බව පැවසේනවා. ඔහු එය ප්‍රතික්ශේප කර තිබුනත් මේ පිලිබද විශ්වාසනීය සාක්ශී පවතිනවා.

මේ අයුරින් ඉන්දීය මධ්‍යම රජයට ද පාලනය කල නොහැකි අයුරින් මුලු තමිල්නාඩුවම ශ්‍රී ලංකාවට එරෙහි ජාතිවාදී ස්ථාවරත්වයකට ගමන් කරමින් පවතිනවා. තමිල්නාඩු වැසියන්ගේ දැවෙන ප්‍රශ්න විසදනු වෙනුවට, ඔවුනට රස කර කර හප හපා ඉදීමට, ශ්‍රී ලංකා සිංහල විරෝධය නැමැති ලොසින්ජරය, තමිල්නාඩු දේශපාලකයන් විසින් එහි ජනතාව වෙත විසි කරමින් පවතිනවා. මෙහි භායානකම තත්වය වෙන්නේ මේ කරුන පෙන්වා දීමට සමත් දේශපාලන බලවේගයක් තමිල්නාඩුව තුල නොමැති වීමයි. මේ තත්වය ප්‍රයෝජනයට ගනිමින් දෙමල ඩයස්පෝරාව, තමිල්නාඩුව වෙත මුදල් පොම්ප කරමින් එල්ටිටීඊ කන්ඩායම් නැවත ඇතිකිරීමේ උත්සහයක යෙදෙනවා. රාජිව් ගාන්දි ඝාතනයත් සමග උඩු යටිකුරු උන එල්ටිටීඊ පිලිබදව තමිල්නාඩු ස්ථාවරය මේ වනවිට එල්ටිටීඊ හිතවාදී ස්ථාවරයකට යෑමේ දැඩි අවදානමක් පවතිනවා.

මේ සිද්ධි දාමය තුල ඉන්දීය මධ්‍යම රජය ද පෙර නොවි වීරු අභියෝගවලට මුහුන දෙමින් පවතිනවා. එක් පැත්තකින් ශ්‍රී ලංකාව යුද්ධය නිමාකර චීනයත් ලංකරගෙන කලාපය තුල වේගවත් ආර්ථික ගමනකට අර අදින අතර තව පැත්තකින් තමිල්නාඩුව තුල ශ්‍රී ලංකා විරෝදය මුල් කරගෙන දෙමල බෙදුම්වාදය හිස ඔසවනවා. ඒ අස්සේ ඉන්දීය මධ්‍යම රජයේ ස්ථාවරත්වයට තමිල්නාඩු බලපැමද ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙනවා. මේ අභියෝග හමුවේ දකුනු ඉන්දීය දේශපාලන විහිලුකරුවන්ගේ විහිලුව කාගේ කාගේත් ඇස් රතුවන විහිලුවක් වන බවනම් ඕනේවටත් වඩා ඔප්පු වෙමින් පවතිනවා. කෙසේ නමුත්, යුද්ධය මෙන් නොව, තමිල්නාඩූ දේශපාලකයන්ට ආමන්ත්‍රනය කල හැකි හොදම වචනය සොයා ගැනීම වෙනුවෙන් නම් සරත් ෆොන්සේකා මැතිතුමාට සියයට සියයක් එහි පූර්ණ ගරුත්වය හිමි විය යුතු බව මයියා ගේ හැගීමයි.